Tuesday, March 11, 2014

==============සබඳ එතැනට යන්න එනවද========= =======කවුරුත් නොකලට ගරු=====


'
බොහෝ විට දිය සිඳුණු පසු ගඟ
පතුල තුල සැඟවී තිබූ
පෙර දිනක එහි ගිලී මියදුණ
පෙම්වතුන් යලි වෙයි මතු
.
උඩට එන ඇට කැබලි පිසදා
පෙම්වතුන් ගැන නොම සිතූ
අයෙක් ලොවටම බලන්නට
සරසයි එයින් කෞතුක බිතු

පෙමින් වෙලි කල උන්ගෙ යහපත
කිසිම විටකත් නොම පැතූ
ඉඳහිටල ඇතැමෙක් තබා යති
මල් වැලක් එකිනෙක එතූ

පෙමින් වෙලි පෙම් වතුන් යුවලක්
ඊයෙ හවසත් උන් සතූ
කඳුලු හෙලනා හැටි දුටිමි ඇට
 සැකිලි ගැන  කියමින් ගතු

බිත්තියේ සැරසිල්ල මවනා
පෙම්වතුන් තම ඇට අතූ
වන වනා මොනවදෝ පවසයි
යනෙන මිනිසුන් වෙත තතු

පණ තිබුණ කාලයේ නොදැනුන
මොවුන් ගේ ආලය මතු
පරපුරට දැන ගන්න හැකිවෙද
දෙස බලා පණ නැති කටූ

ප්‍රේමයට නිසි ඉසිඹු ලද නැති
නිසා දුටුවත් උන් මරු
සබඳ  එතැනට යන්න එනවද
කවුරුත් නොකලට ගරු

හරියටම හෙට, හඳට - ඉර ඉඩ
දෙන වෙලා වට එහි යමූ
රෝස මල් දෙකකුත් අරන් අපි
ලංවෙලා ආලෙන් ඉමූ

දිය සිඳුණු පසු ගඟ පතුල තුල
ඇට කැබලි මතුවී තිබූ
ගිලී මියදුණ පෙම්වතුන්
අප හට කියයි ප්‍රේමයෙ තතූ !
-- කුරුළු--

2 comments:

  1. ඇට කැබලි මතුවී තිබූ
    ගිලී මියදුණ පෙම්වතුන්
    අප හට කියයි ප්‍රේමයෙ තතූ

    කියන්න දෙයක් නෑ අපූරුයි

    ReplyDelete