Wednesday, October 14, 2015

== විළඳ කොයිද කාසි නැතිව - නාඬන් සැළලිහිණි ==



.
- අපේ මහත්තය !
+ හ්ම්
- අපි මොකෝ දැන් කරන්නෙ ?
+ ඒ කිවුවෙ ?
- මම හිතුවෙ නැ අපේ මහත්තයට මෙහෙම කරයි කියල
+ කොහොමද
- මහත්තය දන්න සේරොම දේවල් රවට්ටල අහගත්තලු නේද ඒ මිනිස්සු.
+ හ්ම්
- ලොකු එකා එපා කියනකොටවත් මහත්තයට ටිකක් ඉවසන්න තිබුණ. ඔය සාස්තරේ අපිට නොතේරුණාට උන්ට වටිනව නේද? පරම්පරාවෙන් එන එකක් නේද මහත්තය..
+ එහෙමයි.
- හ්ම්. දැන් ඉතින් පරපුරේ උන්ගෙනුත් දොස් එන්නෙ මහත්තයට තමයි.
+ කමක් නැ මැණිකෙ
- එහෙම කියල කොහොමද ?
+ ඒ චිත්‍ර හරි ලස්සනයි තමා. ඒක හරි වටිනවත් තමා..
- ඒකනෙ.. මම හරි ආසයි ඉස්සර මගෙ මහතත්ය අදින ඒ චිත්තර දිහා බලන් ඉන්න. ඒවගෙ තිබුනෙ පුදුම ලස්සනක්.
+ ඒක මට මගේ අප්පච්චිගෙන් ලැබුන දෙයක් නේ.
- හුහ්. මම කිවුව ඕකා අපේ ගෙට රිංගනකොට මහත්තයට විස්වාස කරන්න එපා කියල. ඇහුවෙ නැනෙ ඉතින්.
+ මිනිස්සුනේ මැණිකෙ හැමෝම
- මහත්තයගෙ චිත්‍ර කුණු කොල්ලෙට අරං ගිහිං මේ රටේ තැන් තැන් වල එල්ලල ගිණි ගනං වලට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය.
+ හ්ම්
- ඒකා පිට රට ඒවා පිට රට සුද්දොන්ට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය. මහත්තයගෙන් රුපියල් 100කට ගත්තු අර කොක්කු දෙන්න ඉන්න පින්තුරෙ ඒ මනුස්සය අර ඉන්දියන් කාරයාට විකුණල තිබුනෙ රුපියල් ලක්සෙකටනෙ. ඒක දැනගත්තු වෙලාවෙත් මහත්තය කරබාගෙන හිනා වුනා විතරයි.
+ හ්ම් මිනිස්සුනෙ ... කොකා පෙන්නල විකුණල. ඒ මිනිහා කොහොමත් බිස්නස් වලට දක්සය.
- මිනිස්සුනෙ තමා ..අපේ මහත්තයනං වෙස්සන්තර ද මංද?
එක්කො ඒ දවස්වලම කීයක් හරි වැඩිපුර ඉල්ලන්න එපැයි. ඒ ඇරත් ඒ චිත්‍ර අදින රහස් විදිහ අහගෙන රිගනකොට මහත්තය කට පියන් ඉන්න එපැයි.
+ මගෙන් ඇහුව මම කිවුව ..
- ඉතින් ඇයි පොඩ්ඩක් වත් සැක හිතුනෙ නැද්ද?
+ ඇයි මැණිකෙ මං මිනිස්සුන්ව සැක කරන්නෙ?
- හුහ්.. අනේ මගේ කට ඉතිං.. ළග තීන්ත කලවං කරපු එකාවත් අරංනෙ ගිහින් තියේනනෙ.. දැන් දෙන්නත් එක්ක එකතු වෙලා ඇදල විකුනයි. අඩු ගානෙ අපේ ජාතියෙ එකෙක් නං කමක් නැ. ඕනවට වඩා දැංවත් විස්වාස කරන්න එපා මිනිස්සුන්ව..
+ ජාතියනං මොක වුනත් මොකද මැණිකෙ ! මිනිස්සුනෙ.. මම ඕනවට වඩා විස්වාස කලේ නෑ ඒ අය විස්වාසය කඩ කලා එච්චරයි ..
- දැන් ඉතින් අර මහත්තයගෙ චිත්‍ර විකුනපු කඩ වලට මහතත්යම චිත්‍ර අරං යනවද විකුණන්න ? නැත්තං මහත්තය කඩයක් දානවද ?
+ හ්ම්.. අපි වෙන මොනව හරි කරමු මැණිකෙ. චිත්‍ර අදින එක මගේ වැඩක් වුනාට ඒවා විකුණං කන්න මං ලැහැස්සති නැ
- එහෙනං අර මිනිහ කලේ
+ මැණිකෙට මතකද ඒ මනුස්සය අපේ ගෙදර ආව දවස්. පවු! හරියට කැමක් බිමක් වත් තිබුනෙ නැ ඒ දවස් වල ඒ ගොල්ලන්ගෙ ගම් වල හරි කරදර. ඉතින් මම වෙන කාටවත් නොදීපු මගේ සාස්තරේ ඒ මනුස්සයට දුන්නෙ පවු කියල. කමක් නැ ඒ මනුස්සයට හොදයි නං හැදිච්ච දෙං. හැම දාම මම සතුටු වුනේ ඒ මනුස්සය දියුණු වෙනව දැකල. ඒ පවුල හොදින් ඉන්නව දැකල.
- මහතත්ය.. එතකොට අපේ උන් දෙන්නට..
+ හ්ම............... මැණිකෙ අර මනුස්සය අරංගියේ මගේ සාස්තරයක් විතරයි. මගේ ඔලුවයි අත් දෙකයි තාම තියෙනවනේ.. අනික මගේ උන් දෙන්න ගැන මම දන්නව. උන්ට අප්පච්චිගෙ දේ ඕන නැ.. උන් උන්ගෙ ගමන ගියාවෙ..
- එහෙම බැහැනෙ මහත්තය මම ගහනව පොල් මෝදර දේවාලෙ ගිහින් .....
+ මැණිකෙ.. ඒ මිනිස්සු දන්නෙ නැ සල්ලි කියන දේ අපේ හිත් වලට කොච්චර කරදර දෙනවද කියල. යස ඉසුරු මිල මුදල් කියන්නෙ නිතරම කරදර දෙන දේවල්. අපට මේ මදැ.. ඒ මින්ස්සු දැං යාන්තං හොදින් ඔලුව උස්සන් ඉන්නව. එත් ඒ අයට කොච්චර වද දෙනව ඇතිද මට කරපු දේ..
- හිත හොද වැඩි ඔයාගෙ
+ මැණිකෙට පුලුවන්නං ඒ පොල් ගෙඩියත් ඒ මිනිස්සුන්ට ගිහින් දෙන්න මොකද ඒකත් ප්‍රෙයා්ජන වේවි..! මට මැණිකෙ ඉන්නව, කොල්ලො දෙන්නෙක් ඉන්නව මට ඒ ඇති ! පවු ඒ මනුස්සයට මුකුත් නැ ... තමන්ගෙ කියල දරුවෙක්වත් නැහැ දායාද දෙන්න. එහෙවු එකේ ගොඩ ගහල මොකටද මැණිකෙ.. මැණිකෙ හිතනවද ඔය මනුස්සය වටේ ඉන්න අය ඔය මනුස්සය අසරණ වුනාම උදවු කරාවි කියල..
- හ්ම්..
+ ගිය දේ ගියාවෙ.. මේ ලෝකෙම මිනිස්සු මගේ චිත්‍ර දැකල තියෙන ඒකේ මම ආයෙ අමුතුවෙන් ඒක පෙන්වන්න ඕන නැ. අපි දැන් ලෝකෙට අලුත් දෙයක් පෙන්නමු...මැණිකෙට පුළුවන්ද අපි ආදරේ කරපු කාලෙ වගේ මාව විස්වාස කරල තාමත් ඉන්න.. අවුරුදු 30කට ප්සසෙත් ... එහෙම පුලුවන් නං මට ලොකු හයියක් ..
- හ්ම් .. පුලුවං
+ තේ එකක් බොමුද මැණිකෙට පුලුවන්නං..
- කිරි නැ ! පිටි ඉවරයි මහත්තය.. අන්තිම ටික පොඩි එකාට පන්ති යන්න උදේට තියන්න ඕන..
+ කහට එකක් බොමු. මේ වැස්ස වෙලාවට කියාපු දේ...
- හාං.. අනේ මන්ද !!!
===================
විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණි
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතිං කුමට අඬනවාද
නාඬන් සැළලිහිණි...

කුරහන් මල් හිනා නොවී
කිරි දත් ටික හැලුනී
වැව හිඳිලා සාගතයට
ගොයම් යාය මැරුණී
දුප්පත් කම හංගන්නද
නාඬන් සැළලිහිණි...

අඳුන් තෙලින් සරසන්නට
නැත අත මිට ගිහිනී
ගම් බිම් නැති අප අසරණ
නොවේද සැළලිහිනී
ඉගිල්ලිලා යන්න ඉතිං
කූඩුවෙ දොර අරිමී....
ගායනය - එඩ්වඩ් ජයකොඩි
=====================