Showing posts with label කුරුළු කවි. Show all posts
Showing posts with label කුරුළු කවි. Show all posts

Saturday, March 12, 2016

හෙට ඉදන් උඹ වැඩට යනවද ආයේ දැං දලු දාන කාලේ....


ඒ දවස් වල වගෙ නෙවෙයි දැං
අමාරැයි කොළ හැලන කාලේ
අපිත් වයසට ගිහිං හිතෙනව
දැක්කහම රැලි වැටෙන තාලේ
.
දවස් දෙකකට වතාවක් වත්
ලොකු මහත්තය තරුණ කාලේ
අදිනවාමයි බඩේ ඉරි ඉරි
රටාවට ගස් එකක් ගානේ
.
ඉරෙන් ඉරකට තදින් දැනුණත්
පිහියෙ මුවහත කලින් වාරේ
ඉරි දිගේ බේරැණේ කදුලැලි
නෙවෙයි, සුදු කිරි දුවගෙ බාරේ
.
රබර් ගස් වගෙ හිතං ඉන්නැති
අපි ගැනත්, දුක උන්ට නෑනේ
සුදු රබර් කිරි තරම් වටිනා
කමක් කොහොමත් අපිට නැනේ
.
නිදන් නැගිටල යන්නවත් බෑ
කොන්දෙ දැං අවසාන කාලේ
මමත් ගෙදරට බර වැඩී දැං
උඹෙත් දීගෙක යන්න කාලේ
.
පොඩි පුතාලට ලියල දීලලු
දෙන්නටම අක්කරේ ගානේ
දුවේ උඹටත් එන්න කිවුවද
කිරි කපන්නට දවස ගානේ
.
හාමුලට වැඩියෙන් උඹව ගස්
අදුනනව ඉද, කෙල්ල කාලේ
හෙට ඉදන් උඹ වැඩට යනවද
ආයෙ දැං දලු දාන කාලේ....
-කුරුළු-

ඉසුරැමුණි පෙම් යුවලෙ නුඹ ගැන මම තමයි මුල් කවිය ලියුවේ !



අපිට හුරු තව ගොඩක් අය මෙහි
පෙම්වතුන් වගෙ මැරිල යන්න ඇති
අපිව ගල් වල නෙලුවේ දවසක
උන්ව සිහිපත් වෙන්න, වෙන්ඇති
.
ඉසුරැ මුණි පෙම්වතිය ලෙස නුඹ
තාම රන් මසු උයන තුල ඇති
අපිව වෙන් කල නුඹගෙ පරපුර
රජ පවුල ලෙස ගලේ නිදි ඇති
.
එන තුරා නුඹ කියපු ලෙස මට
තාම කොණකය ඉසුරැ මුණියේ
රජෙක් වුන මගෙ හිතේ තනියට
ගලක් වගෙ ' අසු " පමණි හිටියේ..
.
කමක් නැ මට දුකක් නැ තව
කවුරු කොතැනද වැරදි කෙරුවේ
දුකයි,හිත යට නගින පෙම් ගිනි
කවුරුවත් නැ තාම දුටුවේ
.
රජ පවුල, පෙම් යුවල, මිනිසා
එක්ක අස් හිස පමණි තිබුණේ
නුඹ නමින් කවි ලියා තැබු සෙල්
ලිපිය නුඹමද කැබලි කෙරුවේ.!
.
අපි වගේ පෙම් වතුන් දවසක
මෙහෙ එතියි කවුරැන්ද සිතුවේ
ඉසුරැමුණි පෙම් යුවලෙ නුඹ ගැන
මම තමයි මුල් කවිය ලියුවේ !
-කුරුළු-

Friday, December 4, 2015

== තකදොං කවියො ඉන්නවා ===

මචං මගේ ෆස්ට් ලවු එක
නැති වුන දුක කියාගන්න
පුළුවන් නං තරහ නැතිව
කවියක් මට ලියල දෙන්න..
.
අනේ අයියෙ එයා මගේ
අතර මගදි දාල ගියා
එයාට මගෙ දුක කියන්න
පද හතරක් ලියල දෙන්න

.
බැඳපු කෙනා ඉන්නෙ රටයි
මමයි පුතයි කන්නෙ කටයි
අපෙ මේ දුක කියාගන්න
කවියක් මට ලියල දෙන්න

.
අනේ යාලු කෙල්ල මගේ
සල්ලි හොයං පැනල ගියේ
අද වගේම අවුරුද්දේ
හීතල වැහි දවසකනේ

.
වෙනදට වැඩියෙන් එයාගෙ
උනුහුම වැහි දාට අගේ
පුලුවන් වෙයි නේද මගේ
දුක ලියන්න හිතෙන් නුඹේ

.
දැන් ඉස්සර වගේ නෙවෙයි
අපි දෙන්නා ඩිවොස් වෙලා
නිවාඩුවට මං ආවම
ඉමුද අපිත් තුරුල් වෙලා

.
අනේ පුතේ අපේ දුවට
ඉස්කෝලේ තරගයකට
පෙන්නන්ට කවි දෙනවද
නිකං නෙවෙයි සල්ලි වලට

.
අනේ කුරුළු අපෙ අම්මා
ඊයේ රෑ මැරිල ගියා
එ් දුක ගැන ලියපු සිරා
කවියක් මට දියං බබා

.
සුදු අයියේ මගෙ කතාව
හෙමි හෙමීට මං දෙන්නං
කවියෙන් ඒ ගැන ලිවුවොත්
මගේ හිතම මං දෙන්නං

.
හරි නරකයි අපෙ බූලා
ඊයෙත් ගිරවෙක් හපලා
ඒ සිද්ධිය රහ කරලා 
කවියෙන් කියමුද ගොතලා

.
මේ ඔයාට බැරිද ඉතින්
මං ගැන කවි ලියල දෙන්න
ඒ වෙනුවට උම්ම ගොඩක්
දෙන්නං කම්මුල පිරෙන්න

.
අය වැය ගැන - කැම්පස් ගැන
සවුදියෙ ගල් ගහනෙක ගැන
දුක් විදිනා සේවක නඩ
ගැන නොලියන උඹ මොකටද

.
අහ් එහෙනං උඹට බැරිද
තියාගනින් උඹෙ ගණකං
හරි අපි වෙන එකෙක් හොයං
අපෙ කවි ටික ලියවන්නං

.
දන්නවාද ඕන තරං 
පට්ට කවියො ගෝනි ගනං
සත ගාණට යන්නෙ මචං
උඹට ඉන්න වෙන්නෙ බලං

.
අනේ ඔයා හරිම ෂෝක්
ලියන ඒව ඊට ෂෝක්
හම්බුනාම සෙල්ෆියකුත් - ගහමු කියනවා

.
අදත් හෙටත් හැම තැනකම
ඕන දෙයක් ලියාගන්න 
මොනව වුනත් කෙලින් ඉන්න - කවියො ඉන්නවා 

.
දුක කියන්න දුක ලියන්න
තනි වුනාම හිස තියන්න
සැප විදින්න උරහිස දෙන - කවියො ඉන්නවා 
යාලු කවියො ඉන්නවා
------------------------------
--කුරුළු---

Tuesday, February 17, 2015

== අලි ==



නුඹව අරගෙන ගියපු
අලි රෑන තව එනව
අපේ දුක අහන්නට
වගේ ගෙට හොඬ ලනව

උඹව සිහි කරවන්න
වළං ටික පොඩි කරල
පිල ගාව දණ ගහං
මහ හඩින් කෑ ගහල

හිස් බඩින් කැලයටම
දුවන විදියට වැනිල
සත්තමයි දුක හිතුන
උගෙ පැටිය ගැන හිතිල

අලි නොඑන දා රෑට
හංදියේ මුදලාලි
සතියකට ඇතිවෙන්න
බඩු අරං මෙහෙ එනව

හැමදාම නෙලුම් මල්
හොඬින් ගත් අලි පැටවු
වටේ කැරකෙන්නැතිව
මගෙ බඩට රිංගනව

නුඹෙ නොවන කැලෑ මල්
පිපෙන්නට කලින් මං
කෑ ගහං නැගිටිනව
පොඩි එකිත් අඩවගෙන

මගෙ ගැන කමක් නැ
කෙලී දැන් ලොකු වෙනව
කතාවක් හැදුනොතින්
උඹට පවු සිදුවෙනව

දුවේ ආයෙම ගමට
අලියො එනකොට රෑට
අපි දෙන්න පිල උඩට
වෙලා නිදියමු හොඳට
--කුරුළු-

Thursday, February 12, 2015

== කුරුළු වලප ==



මා සොඳුර මේ අසව
එහා නිවසෙහි සිටින
මගේ අයියා බලව

සතියකට වතාවක්
ගෙදර ආවත් මොකද
බව බෝග යස ඉසුරු
රැගෙන එන එක මදිද

අපල දුරු කරන්නට
ස්වෙච්ඡා සේවයට
මාල ගිරවුන් ගන්න
“මිලි අක්ක“ නුගේ යට

ඊයෙ හවසත් දැක්ක
දැන්වීම එල්ලනව
නොගියොතින් එහෙම මම
අපෙ පැටවු අල්ලනව

සොඳුර නුඹ නාඩන්න
හිතුනොතින් දැක ගන්න
නුගේ ලග “ අක්කාට “
නොපෙනෙන්න නුඹ එන්න

පවුනෙ බං ඒ අයත්
අපිවගේමයි ගොඩක්
අක්කටත් තුන් දෙනෙක්
කිරි පාට කෙල්ලොන්ම

අපල දුරු කරන්නට
කවුරු හෝ පිංවතෙක්
අරං අත හැරිය පසු
එන්නංකො කැදැල්ලට

එතෙක් මාගේ බරට
හරියන්න වී කරල්
දුසිමක්ම හෙට හවස
ලැබෙයි නුඹගේ අතට

දෙයියන්ගෙ පිහිටෙකින්
සතියකින් ආවොතින්
ඉතුරු කරපං මටත්
උඹ කාපු ඩිංගකින්.... !!
-- කුරුළු---

Saturday, January 17, 2015

--- හ්ම් -- ප්ලාස්ටික් !!! ---


.
පුංචි කාලෙ මට තිබුණ ෆාම් එකක්
---- ප්ලාස්ටික් !!!
හරක් 2න්නෙක්
බල්ලෙක් - අශ්වයෙක් - තාරාවෙක් - බැටලුවෙක්

ඊට පස්සෙ ගෙනත් දුන්න ගස් ටිකක් !
---- ප්ලාස්ටික්... !!
ලොකු ගහක් - පොඩි ගස් 3ක්
පඳුරු 4ක් - වැල් ජාතියක් ...

මගේ ලග තිබුණ පරණ බිල්ඩින් බ්ලොක්ස් ..
---- ප්ලාස්ටික් !!!
මම ඒකෙන් ගෙවල් හැදුව.. !
ලස්සනට ෆාම් එකක් හැදුව ..!

එත් අප්පච්චි ඊලගට මට ගෙනාවෙ ආමි සෙට් එකක්
--- ප්ලාස්ටික් !!
මම ඒ අයගෙන් යුද්ධයක් කලා..
දණ ගහන් හිටපු අය 2න්යි
හිටන් හිටි අය 10යි
බඩ ගාපු අය 5යි
ටැංකි 2යි - ජීප් 3යි....
එහා ගෙදර මල්ලිත් එක්ක එයාගෙ හමුදාවත් එක්ක
අපි යුද්ධ කලා..
පැරදුණාම එයා එයාගෙ හමුදාව මට දීල ගියා ...
මගේ හමුදාව ලොකු වුනා
කරන්න දෙයක් නැති නිසා මම වැඩි පුර හමුදාව
මගේ ෆාම් එකේ වැඩට දැම්ම... !!

ආයෙත් ‍මට ලැබුනෙ බැකෝ සෙට් එකක් !
-- ප්ලාස්ටික් !!!
ඉතින් මම ඒවයින් පොලව හැරුවා
වත්ත පුරාම මල් හිටවන්න.. බොරලු ඇද්දා
සේරම වැඩ කරන්න දැම්මෙ මගේ හමුදාව.

උපන්දිනේට අම්ම දුන්නෙ ට්‍රාන්ස්පෝර්ට් වාහන ටිකක්
-- ප්ලාස්ටික් !!!
ඒකෙ ප්ලෙන් 3ක් - හෙලිකොප්ටර් 2ක්
බස් 5ක් බෝට්ටු 3ක්
ඉතින් මම බස්හෝල්ට් - එයාර් පෝට් ස්ටේෂන් හැදුව
මට බයක් නැ මොකද මගේ ලග බැකෝ තිබුණ
හොද හමුදාවක් හිටිය වැඩ කරන්න...

අප්පච්චි අවුරුද්දට ගෙනාවෙ පුංචි කාර් සෙට් එකක්
-- ප්ලාස්ටික් !!!
ඒකෙ කාර් 24ක් තිබුණ. ලැම්බෝ- ඩුකාටි - අවුඩි - බෙන්ස්
පොඩි කාලෙ ඉදන්ම මම ඒවට ආසයි
අනික් සේරොම පැත්තක දාල මම කාර් පැද්ද...
එත් මට
 හරක් ටිකයි - ආමි එකයි - ප්ලේනුයි ගසුයි නිසා
කාර් පදින්න කාමරේ ඉඩ මදි වුනා
මම අනික් සේරොම එලියට දැම්ම..
‍මගේ ඇදුම් පෙට්ටියත් එක්කම..
මම තනියෙන් කාර් පැද්ද..
බර්ම්..... පිීක් පීක්.......

දවසක් මගේ හරකෙක් අප්පචිට පෑගුණා..
හවස එහා ගෙදර මල්ලිට එන්න කියල
ඒ සේරොම දීල..
මම දන්නෙ පස්සෙ..
මම ඇඩුව හුගක්... දැන් මට කාර් ටික විතරයි..!
-- ප්ලාස්ටික් !!!

-කුරුළු-

Friday, September 26, 2014

දුක සහ දුකට හේතුව

 
 
 
 
බඳින දවසට
නිකං බොරුවට
තුනට හතරට - නැවි නැවී
.
‍පොටෝ හින්දම
වඳින දෙන්නෙක්
දුටුව මම  - හුණුපිටියෙදී
.
එකදු ගාථා
දහම් පදයක්
නොමුණනා යුවතී පතී
.
දෙස බලා
මදහස හෙලූ බුදු
හිමි තවම එතැනම ඇතී..
.

--කුරුළු--

Sunday, July 6, 2014

** Super Star ***



මම දැනන් හිටියෙ
සින්දු කියන්න,
එයා දැනන් හිටයෙ
නටන්න,
එයා හැමදාම හැදුවෙ
මට නැටුම් උගන්වන්න
මම හැමදාම හැදුවෙ
එයාට සින්දු උගන්වන්න
ඒත්,
මගෙ සින්දුවට ගැලපෙන්න
නටන්නත්
එයාගෙ නැටුමට ගැලපෙන්න
ගායනා කරන්නත්
කවදාකවත් බැරිවුණා..
අපි දෙන්නම
" සුපර් ස්ටාර්ස්ල" වුණා..
අන්ත දෙකක..!
--කුරුළු--


-- එක ලග කවි දෙකක් ---




" ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ.. බෑ.. බෑ... "
මම එහෙම කිවුවෙ සුපර්ස්ටාර් වෙන්න හිතං..
මම ඔයාව ඊළඟ " වටයට" යවනව !
මට හැම දාම නොතේරුනේ - එතැන..
එතැන කවදාකවත් වටයක් තිබුනෙ නැ..
තිබුණෙ හතරැස් කොටුවක්..
එතැන තිබුනෙ ෆයිට් එකක් කරන්න..
අන්තිම දවසෙ මම පුටුවක් උස්සල ගැහුව..
මම තරගෙන් ඉවත් වුණා..
හේතුව -
මම තරඟය මගේ කර ගත්තු නිසාලු..
මට යන්නදීල.. එකෙක් හෙමීට මෙහෙම කිවුව..
මල්ලි උඹට ,
" ඇස් දෙක පියාන නිදාගන්න විතරක් නෙවෙයි
සින්දු කියන්නත් බෑ ..!!!
එදා මට තේරුණා..
ඊලග වටයට වටයට කියල
හැමදාම කරල තියේනනෙ..
මාව වටේ යවපු එක ...!!!!
අන්තිමේදි මම
" ඩ්‍රීම් " ස්ටාර් කෙනෙක් වුණා
--කුරුළු--