Saturday, March 12, 2016

හෙට ඉදන් උඹ වැඩට යනවද ආයේ දැං දලු දාන කාලේ....


ඒ දවස් වල වගෙ නෙවෙයි දැං
අමාරැයි කොළ හැලන කාලේ
අපිත් වයසට ගිහිං හිතෙනව
දැක්කහම රැලි වැටෙන තාලේ
.
දවස් දෙකකට වතාවක් වත්
ලොකු මහත්තය තරුණ කාලේ
අදිනවාමයි බඩේ ඉරි ඉරි
රටාවට ගස් එකක් ගානේ
.
ඉරෙන් ඉරකට තදින් දැනුණත්
පිහියෙ මුවහත කලින් වාරේ
ඉරි දිගේ බේරැණේ කදුලැලි
නෙවෙයි, සුදු කිරි දුවගෙ බාරේ
.
රබර් ගස් වගෙ හිතං ඉන්නැති
අපි ගැනත්, දුක උන්ට නෑනේ
සුදු රබර් කිරි තරම් වටිනා
කමක් කොහොමත් අපිට නැනේ
.
නිදන් නැගිටල යන්නවත් බෑ
කොන්දෙ දැං අවසාන කාලේ
මමත් ගෙදරට බර වැඩී දැං
උඹෙත් දීගෙක යන්න කාලේ
.
පොඩි පුතාලට ලියල දීලලු
දෙන්නටම අක්කරේ ගානේ
දුවේ උඹටත් එන්න කිවුවද
කිරි කපන්නට දවස ගානේ
.
හාමුලට වැඩියෙන් උඹව ගස්
අදුනනව ඉද, කෙල්ල කාලේ
හෙට ඉදන් උඹ වැඩට යනවද
ආයෙ දැං දලු දාන කාලේ....
-කුරුළු-

1 comment:

  1. මෙ කවිය ඇතුලෙ ගොඩක් ස0වෙදි කතාවක් හැන්ගිලා තියෙනව...එ අයගෙ ජිවිතෙට වඩා කිරි වල වටිනාකම වැඩයි.

    ReplyDelete