Friday, November 23, 2012

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න - මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න






මිහිරි මතකයන් තුල අමිහිරිව ජීවත් වීම කොයි තරම් මිහිරිදැයි දැනෙන්නේ - අදටත් මට ඉඳ හිට හෝ නුඹව සිහිවන,පෙනෙන විටකටය...
අවුරුදු 28ක තරම් දැනුම් තේරුම් ඇති වයසක පසුවූවත් - නුඹ දකින මා අයත් වන්නේ පෙරමෙන්ම පාසල් අවධියට යැයි මට ම සිතෙන්නේ මටම අවනත නැතිව හැටේ වේගෙන් දුවපු හිත - එකසිය ගාණට ගැස්සීම නිසාවෙනි..
බොළඳව ගැහෙන සිත කෙරෙහි අනුකම්පිත ලජ්ජාවකින් පසුවෙමි..
මම තවම නුඹේ ඒ නැවතුමක් නැති සිනහවට ප්‍රේම කරම

ි..
දෙකොපුල නැගෙන රැලි වලට ආසා කරමි.. නළලට නිතරම වැටෙන බොරුවට හෝ කරදරයක් බව පෙන්වමින් නැවත නැවත සකසන සිහින් කෙස් රොදට ප්‍රිය කරමි....
ඔබ කියූ දෑ බෝය.. මට මතක ඇති දෑ අල්පය... ඒ මා එවකට නුඹ දෙස බලා සිටියා මිස ඇහුම් කම් නොදුන් නිසාවෙනි...
දැන් ! නුඹ මට අයිති නැත.. එය සත්‍යකි..
එහෙත් මා , තුල තවම නුඹ සිටින බවට මා සිත ඉඟි කරයි..

නුඹ ! නුඹේ අව්‍යාජ සිනහව මා සිත මෙතරම් සොළවා තබාවී යැයි මා මේ වන තුරු නොදැන සිටියෙමි..
සැබැවින්ම මට අහිමිව ඇත්තේ නුඹව නොව - මා වය...

එබැවින් මෙය - නුඹ ඇස ගැටුනු දිනක කියවාවි යැයි සිතැතිව මෙසේ ලියා තබමි..
---“ මම නුඹට ( තවමත්) ආදරය කරමි “ ---
---මෙයට,
( ආදරයේ කෝඩුකාරයා - කුරුළු )

Tuesday, November 13, 2012

ආයෙමත් ආදරෙන්....




අපිට සමහර වෙලාවට (පොඩි කාලෙ ) අම්ම තාත්ත එක්ක තරහ යනව.. 
අම්මගෙන් තාත්ගෙන් ළමයින්ට අඩුපාඩු කම් වෙනව ඇති.. 
වැරදීම් වෙනව ඇති.... ඒ හැටි...
මට පුංචි කාලෙ මගෙ අම්ම හැලිබොරේන්ජ් වතුර දාල හදන්නෙ නැතිව 
 නිකම්ම පොවල මම ඉස්පිරිතාලෙ ඉදල තියෙනව..

අප්පච්චිට මාව බලාගන්න කියල අම්ම උයන්න ගියාම
 මම පුටුවෙ ඇන්දක් ඇතුලෙන් ඔලුව දාගෙන හිර කරල වටේම මිනිස්සු ඇවිල්ල බේරගත්තෙ...
දවසක් සත 5ක් උගුරෙ හිරවෙලා... උලුවෙන් හිටවල තමා ඒක ගත්තෙ....
ඒ අපිට නොතේරෙන දවස් වල... අපිට තේරෙන කාලවල් වලදිත් අම්ම තාත්ත එක්ක කේන්ති යනව.. ඉස්කෝල යන කාලෙ එහෙම...

යාලුවො එක්ක කොහේ හරි යන්න දෙන්නෙ නැති වුණාම ?
අම්මට තේරෙන්නෙ නෑ.. අප්පච්චි දන්නෙ නෑ.. මම අනන්තවත් කියල ඇති...
ඒත් මොනව කරන්නද ?

ඒයාල අම්ම - තාත්ත වුණේ මම ඉපැදුණ දවසෙ..

අපි ෆෝන් එකක්, ටීවි එකක්, රේඩියෝ, එකක් මොනම හරි බඩුවක් ගන්නකොට පාවිච්චි කරන හැටි, හෝදන හැටි, අදාල සියලු විස්තර තියෙන පොතක් ලැබෙනව....!! 

ඒත් මම ඉපදුණ දවසෙ මගේ අම්මටයි තාත්තටයි එහෙම මම ගැන ලියපු පොතක් දුන්නෙ නෑනෙ... එයාල අම්ම - තාත්ත වෙන්න ඉගෙන ගත්තෙ මගෙන්. මට කැමති කෑම, හොඳනැති කෑම, හැදෙන ලෙඩ හැම එකක්ම වගේ දැන ගත්තෙ ඒ දේවල් වුණාට පස්සෙ.....

ඒ නිසා කමක් නෑ.... ආයෙ මම මුකුත් කියන්නෙ නෑ...

මොකද මටත් මගේ ළමය එක්ක කැටලොග්එකක් ලැබෙන එකක් නෑ..
එදාට මට දුක හිතෙයි....

---කුරුළු--