Monday, June 3, 2013

ඔබ යනවානම් යලි නොඑන ලෙසින් මල් නගන වසන්‍තයෙ යතුර අරන්



දෑස නිදි බරව පිය වුනත් නිදා ගැනීමට සිතක් නැත..
මෙවන් දිනයන් කොතෙකුත් තිබුණු බව මට හොඳට මතකය..
 ඒ නුඹව දුටු විටය.. නුඹව දුටු දිනයන්හිදි ..
නින්ද නොයනවාටත් වඩා දෑස් පියා ගැනීමට මම මැලි වීමි..
ඒ නුඹ ගැන සිහි කර කර සිටීම තරම් මා හට ප්‍රිය මනාම වෙනත් දෙයක් නොවුන බැවිනි.. පස්සෙන් පහු මා නිදා ගැනීමට බෝසේ ප්‍රිය කලෙමි.
ඒ නුඹ සිහිනයෙන් මා හා සිනාසෙන බැවිනි..
නුඹද පින් කර ඇත මාද පින් කර ඇත..
නුඹ පින් කර ඇත්තේ කලාතුරකින් පමණක් මම දකින මාගේ සිහින වල පවා පෙනීසිටීමටය.
මා පින් කර ඇත්තේ කලාතුරකින් හෝ මම දකින සිහින වල "නුඹවම" පමණක් දැකීමට ය.
මා නුඹගෙන් හමනා ඒ සුවඳට ප්‍රිය කරන්නෙමි. ඒ එදා ද අදද එසේමය..
මා මුලින්ම සිතුවේ ඒ නුඹ ගල්වන කෘත්‍රීම සුවදක්‍ ලෙසය එහෙත් මා වැරදිය නුඹ ලගින් හැමදාම එය හමනු මට දැනුනි..
මට මා අසා ඇති උත්පලවණ්නා කතා පුවත සිහි විණ..
පෙර පින් කල තැනැත්තියකි.. අදටත් නුඹ දකින විට පවා මාගේ නාස් පුඬු සොයන්නේ එම සුවඳය.. පෙර භවයක නුඹද සමන්පිච්ච මල් පුජා කර ඇතිවාට නිසැකය..
එදා නුඹ මල් සුවඳ පැතුවා වෙනුවට " මා " පැතුවේ නම් කොයි තරම් හොඳදැයි මට සිතේ..
සුවඳට මෙන්ම සිනාවටද ඇලුම් කරමි.. දැන්ද මැවී පෙනෙනවා වාගේය...
ආදරේ යනු ලෙඩක් නොව හැගීමක් යැයි මා කොතැම් පුරසාරම් දොඩා ඇතත් ආදරේ යනු ලෙඩක්මදැයි මට මෙවේලෙහි මා ගැනම සිතා, සිතෙයි!
එකින් එක කිවහැක.. ඇස්දෙක , කටහඩ, සිනහව, ඉසකේ, දෑත.. ඒ හැම එකකටම මා කැමතිය..
මා අකමැති කිසිදු දෙයක් නුඹ සතුව නැත.. මා නුඹට ඒ තරම් ප්‍රේම කරමි...
සිනහව ගැන නම් කිව යුතුමය.. ඒ මා සිත් ගත් නුඹගේ ප්‍රධානතම අංගයක් බැවිනි..
අ‍පේ අම්මා කියනා විදිහට නුඹ මුරලිදරන් වාගේය..
බෝලයට හයක් ගැහුවත් සිනාසෙයි - විකට්ටුවක් දවා ගත්තත් සිනාසෙයි.. !
හැම දෙයම සම සිතින් සිනාවී දරාගනියි..
මා මෙතරම් නුඹ ගැනම හොඳ කියන්නෙ ඇයි දැයි මටම සිතාගත නොහැක..
ඒ වැරදි නැතිවා නොවේ .. එහෙත් ඒවා මට මතක නැත..
ඒ තරමට මම නුඹට කැමතිය...
" එහෙත් - නුඹ මට කැමති නැත "
ඒ - ඒ හැටිය... මාද මට කැමති සමහරුන්ට කැමති නැත.. මට ප්‍රේම කරන්නන් සියල්ලන්ටම පෙරළා ප්‍රේම නොකරමි...
නුඹද එසේ විය හැක... දෙක දෙපසටම හරිය... !
එහෙත් කෙදිනක හෝ නුඹ - " මම ආදරෙයි " කියනා තුරු මම මෙසේ නිහඬව බලා සිටිමි...
මතක හැටියට " මම තවවම නුඹට ආදරෙයි " යැයි මම ම කියා නැත..!
ඒ එයට තවම සුදුසු කාලය පැමිණ නැතයි මා සිතන නිසාවෙනි...
ඒ කෙසේ වෙතත් අදද මට නින්දක් නැත.. නුඹ හා බැඳී පවතින්නෙමි.. දැන් මම නිදා ගැන්මට බිය වෙමි.. ඒ මා දුටු නුඹ රුව, මාගේ කලු ඉංගිරියාවේ හිරකරගෙන ආ නුඹ රුව මැකී යාවි යැයි බියෙනි.. !
එනිසා.. බොහෝ පෙර දින වල මෙන්ම අදද..
නොනිදා පහන් කරමි...

" .සුදු සිනා කුසුම් නොපිපෙයි මනරම් 

මේ උයන් බිමේ කිසිදාක ඉතින් 
ඔබ යනවානම් යලි නොඑන ලෙසින් 
මල් නගන වසන්‍තයෙ යතුර අරන්

ඔබ දනන්වනම් එක නෙලුම් මලක්
දිය යටට වෙලා දුක් විදින තරම්

උනු කදුලු වලින් රොන් සුනු තනමින්
ලය ම‍ඩලෙ තබා උනුස්ම් කරමින්
ඒ නෙලුම වුනත් සැග‍වේවි ඉතින් 

කිසිදාක දියෙන් නොමැකෙයි රහසින්

මුතු හැදෙන තුරා මුතු බෙල්ලෙකු මෙන්
දුක ළයේ තබාගෙන හිටියා මං
මං නැතිව ගියත් යම් දිනක ඉතින් 

ඒ මුතු ඇට දිය යට නිදන බැවින්
ගෙනියන්න ඇවිත් ඔබ එනවානම්
මට  අයිති නොවෙයි ඒ ඔබට තරම්
"

නුඹට සුභ රාත්‍රියක් !!!!


--කුරුළු--

No comments:

Post a Comment