Tuesday, July 9, 2013

==ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ - === ==උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ ===




අයියා නම් පුදුමය...
මා මෙතරම් එපා කියද්දීත් මේ මාසයේ මාගේ වියදම් මුදලත් එවා ඇත..
අයියා ගමේ මේසන් වැඩ කර හම්මබ කර ගන්නා මුදල්ය..
අප්පච්චි නැති වුන දවසේ ඉදන් මාගේත් අම්මාගේත් දෙවැනි අප්පච්චි වුයේ අයියා ය..
ලේඛනාරක්ෂක දෙපාර්ථමේන්තුවත් යාපහු හඩැති සිංහයෙකුගේ මුහුණකුත් පෙනෙන පරිදි එස් එස් සී ක්‍රීඩාපිටියට මුහුන ලා නිදහස් චතුරස්‍රය ඉදිරිපිට හිඳගතිමි..
බොහෝ දෙනා මෙයට නිදහස් චතුරස්‍රය යැයි පවසන්නේ කුමන අරමුනකින්දැයි මා නොදනිමි.. කොළඹ විශ්ව විද්‍යාල ජීවිතයට ඇතුලත් වූ දා සිට මාගේ සියලු දුක් දෝමනස්සයන් වල නිදහසේ චතුරස්‍රය වූයේ නම් මෙය ය. එනිසා මම ම මෙය නිදහස් චතුරස්‍රය ලෙස හඳුනවමි..
අයියා ලියමනක් එවා ඇත.. බෝඩිමේ අනිකුන් සමග එය කියවිය නොහැක .. ඒ දුප්පත්කම උන් දැනගන්නා නිසාවෙන් නොව එය කියවන විට චපල වන මගේ ඇස් දෙක මට ම පාලනය නැති නිසාවෙනි..
අප්පච්චි නැති වුනු පසු අම්මා බොහෝ මහන්සියෙන් හදාගත් අපි  අයියා ලොකු වෙනකම් මහා අඩුපාඩු කම මැද ජීවත් වුනෙමු..
මුලදී අම්මාගෙන් ගුටි කමින් පවා මේසන් වැඩට අත් උදවු දීමට ගිය අයියා දැන් ලොකු බාස්උන්නැහෙකි...
කල් යත්ම අම්මාද අයියාට බනිනා එක නැවැත්තුවේ.. එක්කෝ අයියා කියන දෙයක් නාහන නිසාය.. නැතිනම් අම්මාගේ හිස මත තිබු බර මදක් හෝ අයියා නිසා සැහැල්ලු වූ නිසා දැයි මා අදටත් නොදනිමි - නොඅසමි...
කෙසේ වෙතත් අදටත් අපේ ගමේ ගෙදර උකස් තබා ඇත..
අනුන්ට මාලිගා හදන අයියාත් අම්මාත් ජීවත් වනේනෙ පොල් අතු පැලකය..
අප්පච්චිගේ එකම හීනය වුනේ අයියාවත් මාවත් හොද ලොකු මහත්තරු කරන්නටය..
අයියා නම් කියන්නේ අප්පච්චි ගහෙන් වැටුන වෙලේ අන්තිමට අයියාට අම්මාවයි මාවයි බාර කල බවකි...
මා විශ්ව විද්‍යාලය තෙක් ගෙනාවේ අයියාය..
එදා සිට අද වන තුරු සියලු විය හියදම් දැරුවේ ඔහුය..
කිසිදු වෙනසක් නොකර මෙවරද මා හට වියදම් මුදල් හා කමීසයක් කලිසමක් ගැනීමට වැඩිපුර මුදල්ද එවා ඇත...
විශ්ව විද්‍යාල ජීවිතය කොතරම් කටුකද ! අධ්‍යාපන ක්‍රමයේ ඇති අවුල් වියවුල් බව අයියා දන්නේ නැත..
වෙලාවකට මට දුක සිතේ...
අයියා එවන මුදල් ඉතිරි කරමි... දවල් බත් වුවද කන්නේ බෝඩිමේ අනික් උන්ගෙනි..
අදින්නේ පරණ ඇදුම ම ය...
විශ්ව විද්‍යාලයට එන කෙල්ලන් හඩ්ඩෙකු ලෙස මට කාඩ් ගසා ඇත.. ඒත් මා දන්නා තරමින් මා සෝදා පිරිසිදු කර අදිනවා පමණි..
මා සතුව ඇති සීමිත ඇදුම් ප්‍රමාණය මුලු විශ්ව විද්‍යාලයම දනිති..
ඒ ගැන කිසිත් නොසිතිය යුතුය..
කල යුත්තේ ඉගෙන ගැනීමය.. අයියාවත් අම්මාවත් බලා ගැනීමේ වගකීම මා සතුය..
අයියාට මංගල යෝජනා කිහිපයක් පැමිණියත් විවාහ වන වයස පසු වී තිබෙද්දීත් අයියා
ආදරය කල පොඩි මාමාගේ අක්කාත් අමතක කර දමා ඇත..
වචන වලින් නොකිවූවත් ඒ මා නිසාය “..
අයියා විවාහ වූ පසු මා හට මෙසේ ඇප උපස්ථාන කල නොහැකි යැයි සිතේ ඇති..
මට මා ගැනම තරහක් උපදී...
ඈත දුර ගමක සිට මේ නොදන්නා කොළඹ රිංගං අහවල් කෙන්ගෙඩියක් කරන්නද..
උපාධි ඇති උන්ටත් රස්සා නැත... කියන්නට කෙනෙක් නැත..
පෙළපාලි උද්ගෝෂණ වර්ජන අඩුවක් නැත..
එකම විකාරයකි...
එක අතකට අයියා වගේ ගමේ වැඩකට ගියානම් ඒකත් එහෙමය..
අනෙක් අතට මේ ටිකත් ඇදල උපාධිය ගොඩ දා ගත යුතුය...
අයියාගේ ලියමන දෙකට නවා ගුලිකර සාක්කුවට දමා ගතිමි.
සාක්කුවේ යමක් තිබුනෙන් එය එලියට ගතිමි..
හ්ම්......
එය සත්‍යාගෙන් ලැබුනකි.මිතුරෙකුගේ විවාහ උත්සවයකට ගොස් තමන්ට ලැබුන වෙඩින් කේක් කෑල්ලයි... අද දවාලේ ගෙන විත් දුන්නේ ඇයය..
ඉතා ලොකු පවුලකින් පැවත එන්නියකි.. මා ගැන උනන්දුවක් ඇති බවක් සිතෙයි.. මටද ! මම කැම්පස් එකේ ලියන කවි වලටද නොදන්නෙමි.. කෙසේ වෙතත් ආදරයකට නම් තවම සූදානම් නැත...
මට වටින්නේ අයියාය.........
කවදා හෝ මේ කර ගන්නා පවු සොදා හලයුතුය අයියාට සැලකිය යුතුය...
- හවස් වත්ම එකින් එකා නිදහස් චතුරස්‍රය පැත්තට පැමිනේන පටන් ගනිති.. ඒ හුදෙක් දිවිමටය.. ලොකු වාහන වලින් පැමිනෙන ඔවුහු නිදහස් චතුරස්‍රය වටා වට කිහිපයක් දුවති...
--මහ පුදුම ලෝකයකි... අපි මෙහේ බඩ පුරවාගන්න වෙහෙසෙන්නෙමු - ඔවුහු බඩ අඩු කර ගැනීමට වෙහෙසෙති...---
ඉර හැරුනු පසු එතැන පින්තූර ගැනීමට ආ මනාල යුවලකට ඉඩ දී නැවත බෝඩිම කරා යාමට මම නැගිට්ටෙමි.......
*******
ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ
උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ
මන්දිර වාහල් හැදුවත් උඹ ඉහට ඉහල පන්තියේ
අපි උපන් ගෙදර තවමත් අතු පැලමයි අයියන්ඩියේ

ලඹ කැටේ අරන් මං ගියාට දවස ගානෙ ගං ගොඩේ
මලේ තවම එදා වගේම ඇදයි අපේ ජීවිතේ
මට එවන එවන හැම සතේම ඉතිරු වෙලා මයෙ හිතේ
අතේ තියෙන කරගැට වල පවු අරින්න අයියගේ

මගෙ හිත ගිය තැන හදා ගන්න බැරි වුනාට මාලිගේ
හිතට දුකක් නෑ උඹ ඉගෙන ගනින් මල්ලියේ
අප හෙලු කදුලු එකතු වෙලා නොපිරුනාට සාගරේ
වැවක් වෙලා ගිම් නිවාවි කවදා හරි මේ බිමේ.... (කපුගේ - දිවුල්ගනේ)
********
--කුරුළු--

2 comments:

  1. මමත් කොළඹ කැම්පස් එකේ ඉගෙන ගන්නේ.අපෙත් ගොඩක් ළමයි ඉන්නවා මේ කතාවේ ඉන්න පිරිමි ළමයා වගේ.මගේ හොදම යාලුවත් ඔය වගේ.එයා ඉගෙන ගන්න එක පැත්තක දාලා රස්සාවකට යන්න හදන්නේ.ගොඩක් ළමයි හවසට ජොබ් කරනවා.ඩ්‍රයිවින්,සිකුරිටි,මාකටින්.මහපොලින් හම්බෙන ගාන ඉතුරු කරලා ගෙදරටත් යවන අය ඉන්නවා.

    ReplyDelete