Monday, January 20, 2014

**දුක තමයි රංජනී පඩි හම්බෙනකම්**




.
තාම ඉස්සර
වගේමයි බං
අඬනවා පොඩි
එවුන් ගින්නේ

මාසෙ අන්තිම
ළඟට එනකං
දින ගනියි ‍ලොකු
පුතා චන්නේ

පොඩි එකී ගෙට
වුණා ගිය බක්
මං තමයි
සේ රෝම බැලුවේ

ඉස්සරත් මට
අමාරුයි රන්
ඒ නිසංයි මං
බින්න බැස්සේ

රංජනී පඩි
තාම නං නෑ
නුඹ ගියත් වෙන
එකෙක් පස්සේ

හිතේ තරහක්
මගේ දැං නෑ
හීනෙනුත් මුන්
කියයි " අම්මේ"



මතක නම් උන්

ගැන හිතපු හැටි
නිද වරන් 
කාලයක් තිස්සේ

එනවනම් උඹ
ඇවිත් බලපං
"
යතුර ඇති
පා පිස්ස අස්සේ"
---
කුරුළු--

Saturday, January 18, 2014

== මොනවම නැතත් ඇතෙකුට - ලොකු කම දැනෙයි ඔලුවට.



කොහොමද
සුනිල් උඹලට
වැඩ ඇති නේද හරියට
වයසද ඉතින් දරුවට
හමුවුනෙ නෑනෙ කලකට
.
- වරදක් ම නෑ පාලිත
ඉඳ හිටල පිට කොන්ද
ඇවිලෙනව යමරෙට..
උඹේ නම් දළෙත් දැන්
පැනල නේ එලියට...
.
+ උඹටත් පිස්සුනේ හරියට
ඔහොමත් උසස්නවාද බං ලී කොට
ගා ගනිමු තෙල් නේද හෙට
කියලවත් උඹේ බිනරිට
.
- ඇයි සුනිල් අමතකද බොට
මාසම දහයක්නෙ මරණෙට
+ එහෙනම් ඉතින් හෙට මට
තමයි කරඩුව කරපිට..
.
- උඹේ ලොකු අක්කත් නුවරට
දුන්නලු නේද කුලගෙට
+ කියලා මොකටද ඒ ගැන
 උන්ටම ගිහින් මේ රට
.
- ගිනි පෑගෙයිද බං හෙට
ඊයෙත් ඇන්න කකුලට
+ කෑ නොගහ ඉදින් කට කට
ඇහුනොතින් ගුටි තමයි ගොවුවට
.
- අපි දැන් යනව බං වයසට
නෑනෙ වෙන පොඩි එවුන් මේකට
+ කොහෙ ඉන්න අලිද බං රටකට
හිටපු උන් දැන් ගිහින් හුළගට
.
- කියවන්  නැතිව අරහෙට
යමන් ඩිංගක් පොකුණට
ඇගපත තෙමන් හෙමිහිට
අපිත් යමු උඩ මලුවට...
.
කියෙවුවට මුන් ලොකුවට
ඇදුම් ටික ඇත්තෙ ගානට
හරියට තැනට විගහට
දඩුවම හෙළුව, නොගියට
.
කවුරුන් මොනව කිවුවට
ඇන්දම ඇදුම නියමෙට
මොනවද ඔට්ටු උඹ මට
ලස්සන වැඩියි, නිලමෙට
*************
කරඬුව අරන් ඔලුවට
පාවඩ උඩින් යනකොට
මොනවම නැතත් ඇතෙකුට
අලිකම දැනෙයි ලොකුවට.
--කුරුළු--

Friday, January 17, 2014

=== එන්න හවසට හෙටත් එතැනට - එක්ව අපි මැයැදෙමු ගිලී ==


.
දියත උයනට යනෙන කවුරුත්
උයනෙ වැව ලග නතර වී
වැව් දියට තම දුක කියන්නට
හෙළයි සුසුමින් කොණට වී
.
අනේ පුලුවන් වුනොත් ආයෙම
යන වෙලාවක දුක පිරී
වැවේ මහ ලොකු කාතාවක් ඇත
අසනු මැන වතුරට එබී..
.
මීට අවුරුදු නවයකට පෙර
තිබුණ දේ කණ පිට හැරී
ඉගිල ගිය  හංසයෝ වෙනුවට
" ෆයිබ " උන් දිය මත ඉඳී
.
බැකෝ කට පතුලටම ඔබවා
අඳින ලද මහ ලොකු ඉරී..
මාලු , ඉස්ගෙඩි පැටවු මරමින්
උඩ බලන් සුසුමක් හරී..
.
මාලු මොකටද වැවට පොකුණට
කියා ඇතමෙක් හිරි අරී..
දියත උයනෙම ටැංකි වල හිඳ
උනුන් තාමත් හති අරී
.
වැවේ මැද ඇති දූපතේ හිඳ
පාලුවට හූ කියු නරී
තාම මට නම් ඇහෙනවා බං
කියනවා අප හට සොරී..
.
නුඹට දියවන්නාව පැත්තෙන්
තාම නො ඇසී මග හැරී
තිබෙනු ඇත මේ වගෙ කතා තව
ගොඩක් වැව මඩ තුල එරී
.
කැමති නම් නුඹ තවරගන්නට
වැවේ දුක් මඩ ඇඟ යලී
එන්න හවසට හෙටත් එතැනට
එක්ව අපි මියැදෙමු ගිලී
-කුරුළු-
පින්තුරය - අශාන් ගුණවර්ධන ( අන්තර්ජාලය )

Thursday, January 16, 2014

=== එතැනද සමිදු මම ඉවසිය යුතුම තැන ===





ගල් පඩි නගින සිය දහසක් අතර මැද
දුගියන් යදිති යන එන මග බිමක හිද
නතරව බලා මොහොතක් උන් නමින් අද
පිහිටක් වුන කෙනෙක් ඇතුලත සිටන වද

කලු ගල් පිළිම හිදුවා, දඹ දිවින් එන
දොහොවති පිහති නාවති දෙවි ගෙලින් ගෙන
අසරණයෙකුගෙ හඬකට නොනැමෙනා මන
කැලකගෙ දුකට එන දෙවියෙක්, වුණා කණ

හැම පෝයටම මට නැගෙනා මෙවන් පැණ
දහසක් තිබේ දින දින ගොඩ නැගෙන එන
විටකදි තරහ එන විට දුක පිටට පැන
එතැනද සමිදු මම ඉවසිය යුතුම තැන
-කුරුළු-

Tuesday, January 14, 2014

රාවණා පරපුර ( ප්‍රබන්ධ )


ඒවං මේ සුතං....*
*
රාවණාට ඉස්සර කිවුවෙ දසිස් කියල ඒ කියන්නෙ ඔලු දහයක් නෙවෙයි දහයක් ප්‍රදේශ පාලනය කරයි කියන එක.ඉතින් කෝම හරි ඔය රාමවයි -සීතවයි පිටුවහල් කළාම ඒ දෙන්න ආවෙ මේ අපේ රාවණා පාලනය කරපු පැත්තට ඉන්දියාවෙ...දණ්ඩක පර්වතේට.. ඒ අනවසර ඇතුල්වීම ‍ගැන හේතු අහන්න ගිය සුප්පණකාට කරපු අරියාදුව පිරිමසාගන්නයි රාවණා රජ්ජුරුවො රාමව මරන්න ඉන්දියාවට ගියේ... ඒ ගියාට රාම හිටියෙ නෑ.. රාමගෙ බිරිඳව අරන් ආව.... ( පොලිසියෙන් කරනව වගේ) පස්සෙ කාලෙක රාම ආව වඳුරො රංචුවක් එක්ක අපේ රටට රාවණාව මරන්න.. විසිවාස කරන්න විශ්ණුගෙ දස අවතාර වලින් 1ක් වන රාමට සහය දුන්නෙ වඳුරො.. ඒ විතරක් නෙමෙයි පොතේ හැටියට රාවණාව පරද්දන්න මුහුදු වෙරළෙ ඉඳන් අඩියක් රට ඇතුලට එන්ඩ බැරිව රාම - රාවන යුද්ධ කරනව අවුරුදු 20ක්ම.... අපේයි රාවණ.... කාලෙකදි රාවණාගෙ මල්ලි විභිසණ රාවණාට විරුද්ධ වෙලා රට ඉන්දියන් කාරයට ( රාමට ) පාවල දෙනව... රාවණ මළාට පස්සෙ විභිසණට රට දීල රාම ආපහු යනව.... ඒ රාමායනය....

ඔය අපේ රාවණට තිබුණ දඩු මොණරයක්.. අන්න එතනනිනුයි මේ කතාව පටන් ගන්නෙ. ඇත්තටම රාවණාට දඩූ මොණරක් තිබුණද එහෙම තාක්ෂණයක් තිබුණද ?
ඔව් -  තිබුණ  ඒ දඩු මොණරෙ නවත්වපු තැන තමයි වාරිය පොල
වා - වාතයෙන් යන
රිය - රථය
පොල - නවත්වන ස්ථානය

පංච තන්තරේ සඳහන් වෙනව ගුරුලු යනතරයක් ගැන ඉගිල්ලෙන...  ඒත් මේ තාක්ෂණයමයි..
හැබැය මම කියන්නෙ ටිකක් වෙනස් කතාවක්.....
දඬු මොණරෙ කියන්නනෙ ලොකු සතෙක් ඇදගෙන දුවපු වාහනයක් හැබැයි ගියෙ උඩින්... ඇත්කඳ ලිහිණිය වගේ දඬු මොණරෙක්... විශාල එකෙක්....
අපි ලේනාට වඩා විශාල සතාට කියනව දඬු ලේනා කියල දඬු ලේනත් සාමාන්‍ය ලේනාට වඩා විශාලයි ශක්ති සම්පන්නයි.. මේ නම් හැඳිම ආරම්භ වුනෙත් මේ මොණරාට වඩා විශාල ශක්තියක් තිබුණ දඬු ‍ මොණරාගෙන්..

රාවණා දෙමළ... කදිර ( කතර ගම )දෙවියොත් දෙමල වාහනේ මයුර...  :
දඬු මොණර කියන්නෙ මහ විශාල බලයක් තිබුණ විශාල සතෙක්... මේ දෙන්න අතර තව සම්බන්ධයක් තිබුණ රාවණාට දසිස් කිවුව වගේම රාවණා තාව තිබුණ මුද්දක්..
මහා බලගතු එකක්... අන්න ඒ මුද්දෙන් තමයි මේ මොණරා පාලනය වුනේ...
කොටින්ම කියනවනම් මොණරව පේන්නෙ මුද්ද පැළඳගෙන ඉන්න කෙනාට විතරයි.. ඒ වගේම සාමන්‍ය කෙනෙක්ට මේ මුද්ද පැලදින්නත් බෑ... ‍වෙන කෙනෙක් ඒක පැළදුවොත් මොණරට දැණෙනව.....

රාම එක්ක කරපු යුද්ධෙදි කුම්භ කරණ යෝධයව යුද්දෙට එවුව (රාවණාගෙ සහෝදර )
එයත් පරාද වුනා.. රාවණාට තිබුණ දඩු මොණරෙන් පැනල යන්න එහෙම කලේ නෑ... ,
මතක තියා ගන්න සීත ව ගෙනාවට මොකද රාවණා බලෙන් විවාහ කරගන්නවත් බලපෑම් එල්ල කලේවත් නෑ රාම එනකල්ම අවුරුදු 13ක් විතර හිර කරන් හිටිය විතරයි....
රාවණා යුද්ධෙන් පැරදුණ.. රාවණාගෙ ශරීරය මිහිදන් වුනා..
රාම ට විභිසණ කිවුව රාවණා ගෙ මුද්ද සහ දඩු මොණර ගැන..කවදා හරි මොණරා ඇවිත් ආපහු තමන්ට කරදර කරයි කියන බය රාමට ඇති වුණා... රාම මුද්ද හැංගුවා.. ඒ රූමස්සල... ඒ කියන්නෙ හනුමා ඉන්දියාවෙන් ගෙනාවයි කියන හිමාලෙ කන්දෙ කෑල්ලෙ... හේතුව ඒක ඉන්දියාවෙ කොටසක් දඬු මොනරට අලුත්... ඒ වගේම හනුමන්ත ලවා දඬු මොනරව හැංගුවා... ලංකාවට ටිකක් එහායින්.. මුහුදෙ පත්ලෙ....... එදායින් පස්සෙ ඒ කතාව එහෙම්ම වැලළිලා ගියා.........

හැබැයි පරම්පරා ගාණක් ඒ ගැන දැනගෙන හිටපු මිනිසුන් පිරිසක් හිටිය ඒ රාවණාගෙ ඇමති මණ්ඩලයේන්.......


ඉස්සර අපේ පොත් වල හැටියට
නාග ගෝත්රය හිටියෙ - නාගදීපෙ -කැලණියෙ
යක්ෂ ‍ගෝත්රය හිටියෙ - මහියංගනේ
දේව ගෝත්රය හිටියෙ - සමනල කන්දෙ
ඔය තුන්ගොල්ල එකතු වුණොත් යුද්ධයක්...
බුදුහාමුදුරුවො සමනල කන්ද වැඩිය දෙයියො බලන්න... මහියංගනේට වැඩිය යක්ෂයො දමනය කරන්න කැලණියට නාගදීපෙට වැඩිය නාගයෙ බලන්න... මේ තුන්ගොල්ලම එකට හිටයෙ එකම එක ගමක විතරයි... ඉන්න පුලුවන් වුනේ... ඒකත් හාස් කමක්...
ලංකාවෙ එකම එක ගමයි තිබුණෙ
ඒ තුන්ගොල්ලම එකට හිටිය

ඒකත් රාවණාගෙ හාස්කමක්
රාවණා පරපුර පැවතුණේ එහෙ ඒ තමා
"අරණායක"
අර - දෙවියො නා - නාග යක - යක්ෂ
අරනා යක
ඒ ගමේ අවුරුද් ගණන් පරම් පරා හිටිය

අදටත්

ඒ එක්කෙනෙක් දැනන් හිටිය මේ

රාවණාගෙ මුද්ද ගැන එයාල සාකච්චඡා කලා මුද්ද ගන්න තීරනය කලා අරණායක රාවණා පරපුර
කවුරුවත් නොදැනම රූමස්සලට ගියා කන්ද හෑරුව නියම විදිහට මුද්ද ලැබුණ එයාලට හැබැයි වැඩි දවස් තියාගෙන ඉන්න ලැබුණෙ නෑ එක පාරටම ලංකාවට ටිකක් ඈතින් මුහුද දෙබෑ වුනා රච්ටර් මාපකේ සදහන් වුණේ 8.9 කියල මහා භු කම්පණයක් ඊට කලින් දෙක තුනක්ම වුණා ඊට අඩු හැබැයි කවුරුත් දන්නෙ නෑ කවුරුත් හිතුවෙත් නෑ.. හැමෝම කිවුවෙ සුනාමියක් කියල ... ඒ හරියටම 25වෙනිද මුද්ද
එලියට ආව දවසෙ මුහුදෙ මහා කැළඹිමක් වුණා.. ලංකාවට ටිකක් එහායින්..... මුහුදට යටින් ‍පොලව දෙබෑවුණා... මහා මූදු රැලි ආව.... සෑහෙන්න ජීවිත විනාස වුණා....


මේ එක්කම තව දෙයක් වුණා.. ඒ තමා තමා අරණායක ගමේ මිනිස්සු කලබල වුනා...
රාවණාගෙ මුද්ද දරන්නාට දඬු මොනරව පේන්න පටන් ගත්ත...
 සුනාමියක් කියල කිවුවට ඒ දඩු මොණරා නිදහස් වීම කියල ඒ අය දැන ගත්ත.... මුද්ද ගත්තට ඒකෙ බලය අද වර්තමානයෙ බාවිත කරන් රාවණා තරම් කෙනෙක් නෑ කියන එක අවබොධ වුණා...
දවසින් දවස පැයෙන් පැය ලොකෙට විපත්ති වැඩි වුනා...
 මහා සුළි සුළං හැමුව හිටි ගමන් රටවල් වලට... 25 නිදහසු වුණ දඬු මොණර මුද්ද හොයාගෙන අයිති කාරය හොයාගෙන ලෝකෙ වටේම ගියා....
මේ බව තේරුම් ගත්ත අරණායක රාවණා පරපුරේ ප්රදානිය අයෙමත් මුද්ද තිබුණ විදිහට තැන්පත් කාලා... ඒ කියන්නෙ හරියටම දෙසැම්බර් 28....
 ලෝකෙ පුරාම පියෑඹුව දඬු මොනරට තමන්ගෙ හිමිකාරය (රාවණ ) හොයා ගන්න බැරි වුණා ..
ඒ නිසම ආයෙමත් තමන් හිටි තැනට ගිහිල්ල මූදෙ නිදාගත්ත...........
හැබැයි ඒකෙන් වුණ හානියෙන් තාමත් රටවල් ගොඩක් දුක් විඳිනව.....

- එදත් - අදත් හෙටත්- මිතුරු වෙස් අරගෙන පරයි එනව -
දළදා මාලිගෙත් අරන් උන් දවසක යන්න යනව ------

-------------------------- රාවණා පරපුර ---------------නිමි -------
------------------ කුරුළු ය -------------------------------------------