Showing posts with label රිදෙන තටු. Show all posts
Showing posts with label රිදෙන තටු. Show all posts

Wednesday, December 16, 2015

== ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා ===


.
= දැන් පොඩි නම මොකක්ද අදහස් කරන් ඉන්නෙ
- මෙහෙමයි හාමුදරුවනේ
= කොහොමයි
- දැන් අපේ විහාරේ බණ මඩුව ගරා වැටිල. විහාර ගෙයිත් එක පරාලයක් තියෙන්නෙ අර ආලවක යක්සයාගෙ උරහිස උඩ. කොයි වෙලේක හරි උපාසක මහත්තයෙක් ගෙ ඇගට වැටෙනව .
= හ්ම්.
- ඉතින් ලොකු හාමුදුරුවනේ මම කල්පනා කලා සම්මාදමක් කරන්න
= සම්මාදමක්
- එහෙයි. මම අපේ පිරිවෙනේ හාමුදරුවොරු එක්ක කතාකලා. උන්නාන්සෙලා කැමතියි වැඩේට. උන්නාන්සෙලත් තම තමන්ගෙ පන්සල් හදාගෙන තියෙන්නෙ එහෙමයි.
= ඒ කොහොමයි
- මෙහෙමයි දැන් අපි හාමුදරුවනේ හැමදෙනාම ආධර එකතු කරන්න ටිකට් මුද්‍රණය කරල ගෙයින් ගෙට යනව. කිසිම බල කිරීමක් නැ කැමති නං ගත්තු දෙන් නැත්තං නිකා උන් දෙන්.
= හ්ම් ඒකත් එහෙමද ?
- එහෙමයි. අපි දහ දෙනෙක් යනව ගම් දහයකට ඊළගට තවත් දහයකට. මම ෆේස්බුක් එකෙත් ගෘෘප් එකක් හදල තියේනනෙ මේකට
= ගම් දහයෙන් දහයට යනව කිවුවෙ. මේ අපේ ගම් පලාතෙන් නෙවේද පොඩි නම මුදල් සම්මාදම් කරනන් හිතන් ඉන්නෙ.
- මොන ! මේ තියෙන්නෙ හාමුදුරුවනේ ප්ලෑන් එක මේ බලන්නන. මේ වගේ විහාර මළුව තියෙන්නෝන .. මේ තියේනනෙ තනිකරම රත්තරන් පාටට දිලිසෙන්නෝන. චෛත්‍ය හදන්නෙ දෙවැනි තට්ටුවෙ ඒක තමා උඩම. පන්සල් ඉඩමට ඇතුලු වෙන තැනම ලොකු ඇත්තු ඉන්න මකර තොරණක්. එතකොට අළුත් බණ මඩුවක්.ආවාස ගෙයක්. එතකොට හාමුදුරුවනේ අපේ අර පහල වෙල තනිකරම සුද්ධ කරල අපි නෙළුම් මල් වවනව. ලස්සනට තියේවි එතකොට.
= දැන් පොඩි නම මොනවද බලාපොරොත්තු වෙන්නෙ මේව හදල
- ඇයි හාමුරුදවෙනේ බලන්නකො අර ටවුන් වල පන්සල් වල ලස්සන. මමත් මේ ළගදිත් එකක් දැක්ක ඉන්ටර්නෙට් එකේ. ලොකුම පිලිමෙ තියේනනෙ එහෙලු දැං. අපිත් මේ පන්සල දියුණු කරල ගත්තහම සුද්දො හිටං එයි බලන්න.
= සුදු ඇත්තො මොකටද ගෙන්න ගන්නෙ. කීයක් විතර වියදම වෙනවද
- මම හිතන්නෙ ලක්ෂ හැට හැත්තාව පනිවි
= එහෙමද ? පොඩි නම. අමනාප වෙන්නෙ නැතිනං මං දෙයක් කියන්නද ?
- හාං ..!
= හොදයි පොඩි නම දැන් ඔය කියන විදියට මේ පන්සල දියුනු කලා කියමු. එත් මේ දැන් තියෙන විහාරේ බණ මඩුව පිලිමගෙයි සුද්ධ පවිත්‍ර නොකරන, අලුත් වැඩියා නොකරන, පන්සලට දානෙ වේල ලැබුනද නොලැබුනාද කියල හොයන්නෙ නැති මේ ගමේ ඇත්තො ඔය අලුත් පන්සල ගැන හොයල බලාවිද ? බුදුන් වහන්සේගෙ ධර්මය කියල කියන්නෙ ගොඩනැගිලි වලට නෙවෙයි පොඩි නම, වෙහෙර විහාර සෑදිය යුතුයි ඒක පිං කටයුත්තක් එහෙත් ඒ ඵලදායී කාරණාවක් විය යුතුයි.
ඊට වඩා නරකද පොඩි නම අපි මේ ගොඩනැගිලි හද හද පන්සල ලොකු කරනවට වඩා පොඩි නමට පුලුවන් නං අර කිවුව දහයක් හාමුරුවරුත් වඩම්මවගෙන මේ ගම ගෙවල් වලට වැඩම කරල ධර්ම කාරණා තේරුම් කරල දෙන වැඩපිලිවෙලක් හැදුවොත්. ඒ ඒ ගෙවල් වල ඉන්න ළමා ළපටින්ව දහම් මාර්ගයට යොමු කලොත්.
සුදු මහත්තරු එන එක හොදයි. ඒත් ඒ ඇත්තන්ට කලියෙන් අපි අපේ ගම හදාගත යුතුයි පොඩි නම. අපේ ගමේ ඇත්තොන්ට පන්සල අමතක වෙනකොට පිට ඈයොන්ට ටිකට් විකුනල මොකට කරදර කරනවද ? ඕන්නං ඒ ඇවිල්ල මේක හදල වැඩිදියුනු කරයි නොවැ. දානය හිත ඇතුලෙන්ම පැන නැගිය යුතුයි.
- හ්ම්. එත් හාමුදරුවනේ. මේක කඩා වැටුනොත් අපි කොහේ කියල යන්නද ?
= සිදු නොවුනු දේවල් ගැන සිතමින් දුක් විය යුතු නැහැ නොවැ, සිදු වූ දේවල් ගැනත් දුක් විය යුතු නැහැ. සිදු වෙමින් පවතින දේ ගැන සිතන්න පොඩි නම. එවැනි කරදරයක් සිදු වුවහොත් අප වනවාසී වෙමුද ? නැතිනම් වෘක්ෂමූලික වෙමු ? පොඩි නම බය .. මහ පාරටද  ? පන්සල නැති වෙනවටද ?
- දෙකටම
= බුද්ධ ප්‍රත්‍රයින්ට කොහොමත් පිඩුසිඟා වැඩිය හැකියි. මමය මාගේය කියා කිසිවක් නැහැ පොඩි නම. ඉතින් අපේය කියා විහාරයක් කෙසේ පවතින්නද ? අපේ සිරුරවත් අපිට ඕනැ ආකාරයෙන් පවත්වාගන්න බැරිකොට පොඩි නම මේ බාහිර දේවල් කොහොම විස්වාස කරන්නද?
පොඩිනම කැමති නම් හෙට ඉඳන් විහාර අලුත් වැඩියාව තමන්ම අරඹන්න. ඉදලක් කොස්සක් දැල් කඩනයක් දැනටමත් පන්සලේම තියෙනවා නොවැ. බාගදා දායක ඇත්තොත් එක්කාහු වේවි. දිලිසිය යුත්තේ ,පන්සල නොව ධර්මයයි රන්වන් පැහැ විය යුත්තේ පන්සල නොව ධර්මයයි විහාර දොරකඩ සිටිය යුත්තේ මැටියෙන් තැනූ ඇතුන් නොව හෙට නැගෙන සිංහයක් බඳු නුඹ වැන්නන්ය. පහල වෙල සුද්ධ කර නෙළුම් වලින් පිරවීමට ප්‍රථම නුඹ නෙළුමක්ව පිපෙන්න එවිට මේ පන්සල විතරක් නොව මුළු ගමම එලිය වේවි.
බාගදා මුළු රටම නුඹ ගැන කතා කරාවි. පන්සලේ ගොඩනැගිලි තිබුණත් නැතත් නුඹත් සද්ධර්මයත් මුල් බැස ගනීවි.
- එහෙමයි
= සිදුහත් කුමාරයා රම්‍ය සුරම්‍ය සුභ අතහැරල වනගත වුනානම් ඇයි පොඩි නම මේ හැටි දොමනස් හිතක් ? බුදුන් වහන්සේට ආරාම පූජා කලේ ධර්මය ගැන පැහැදිලා මිසක බුදුන් වහන්සේගේ අණකට නෙවෙයි. පොඩි නම ටිකට් වලින් රුපියල් සියයක් එකතු කරාවි. එත් පොඩි නම මිනිසුන් තනන්න, එක්කාහු කරන්න පටන් ගන්න. සිල්වත් වෙන්න, රහසින්වත් පවු නොකරන්න, ගුණවත් වන්න, ඥාණවන්ත වන්න, හැකිනම් ධ්‍යාන වඩන්න.
මාගේ උපදෙස නම් එයයි. ඉන් එහාට නුඹගේ කැමත්තක් වේවා.
- ලොකු හාමුදුරුවනේ, අවසරයි මට සැතපෙන්න යන්ට.
= සුවපත් වේවා. මට පන්සල හදන්න උවමනා මේ මහ පොළවෙ නෙවයි පොඩි නමගෙ හිතේ.
- අවසර, හෙට උදේම සවලටයි උදැල්ලටයි මම මිටක් කපන්නං.හාමුදරුවනේ මට පරණ සිවුරක් තියේ නං දෙන්න හෙට වැඩ කරනකොට ඇඳගන්න.
===============================
මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි
මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි
.
දූවිල්ලෙන් සිවුර පිරිල මකුල දැලින් මුහුණ වැහිල
ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා..
.
මහා පොලව සේ නොසැලි ඉවසීමේ ගුණය කියල
දහම් පොතෙන් කියෙවුව හැටි - මේ ඩිගෙදි මං දැක්කා..
============ හර්ෂණ දිසානායක
----කුරුළු---

ගීතය -

Thursday, November 19, 2015

සෙල්වා

මා ත්‍රිකුණාමලේ වැඩ බාරගනිත්තී කාර්යාලයේ කිසිවෙකුත්ම හදුනන්නේ නැත. යාන්තං දැන හඳුනාගත්තානං ඒ නිතරම මගේ කාමරයට එබිකම් කල සෙල්වා පමණි.
ඔහු මගේ අප්පච්චී වගේ වයස වුනත් වැඩ කලේ කඩි වේගයකිනි.
මා රැකියාවට පැමිනි අලුත මුලු ත්‍රිකුණාමලයම මට පෙන්වීම සෙල්වාගේ ලොකුම ආසාවක් විය. ඒ අනුව මගේ රැකියාවට අදාල පාසල්, ගුරු නේවාසිකාගාර පමණක් නොව කඩ පිල් ළමුන්ගේ නිවෙස්ද ඒ අතර විය.
සෙල්වාගේ වැඩිම කැමැත්තක් තිබුනේ ඔහුගේ නිවසට මා කරඳවාගෙන යාමටයි. දෙමළ ජාතිකයින් වෙසෙන ලැයිම් ගෙවල් අතර ඔහුගේ කුඩා නිවස පිහිටා තිබුනි. සෙල්වාත් ඔහුගේ බිරිඳත් එහි වූහ.
මා එහි රැගෙන යාමේ අවශ්‍යතාව හොඳින් වැටහුනේ එහි ගිය පසුය. ඒ අවුරුදු 35ක වැඩි සෙල්වාගේ මේ අධ්‍යාපන කන්තෝරු සේවා කාලය තුල තිරිකුනාමලයට පත්ව ආ කිසිම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ඔවුන් ගේ නිසට නොපැමිණි නිසාවෙනි.
කාර්යාලයේදී සියළුම නිලධාරීන්ගේ කාර්යාල කාර්ය සහය කටයුතු ඔහු අතින් සිදු කෙරුණත් කිසි දිනක මා ගැන සොය බැලීම අමතක නොකලේය.
දිනක් ඔහු මාගේ කාමරයේ දොර ළග නතර වී මොනවාදෝ මුමණනු ඇසෙයි.
+ මොකෝ සෙල්වා කාටද බැන බැන ඉන්නෙ. ( දන්නා දෙමලින් ඇසීමි)
- නැ කියල වැඩක් නැ සර්ලට, දැන කීයද වෙලාව? වැඩ වැඩ වැඩ ඉවරයක් නැ. උදේ ආව වෙලාවෙ ඉදන්. උදේ බැඳන් ආව බත් එක නේද? දැන් සීතල වෙලා ඇති . කාල ඉන්න අප්පා. නිකං ලෙඩ හදාගන්න හදන්නෙ. ඉට පස්සෙ අපිට තමා කරදරේ. මහන්සි වෙලා වැඩ කරල සල්ලි හොයල වැඩක් නැනේ බෙහෙත් ගන්න ඒ සල්ලි වියදම් කරනවනම්. ඔය වැඩ පැත්තක දාල කාල ඉන්න මහත්තයා.
--- ඔහු බැන ඇත්තේ මටය. තානාන්තර අමතක කොට මා ඔහුගේම දරුවෙකු මෙන් සලකා මා ගැන සොයා බැලීම ඔහුගේ දවසේ රාජකාරිවන් එකක් වු බව මට හැගුනේ ටික කලක් ගත වෙද්දීය.
ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම ආදරෙන් සැලකුවාය. තම නිවසේ පිළියල කරන මොන ආහාරයක් හෝ වේවා ඒ සෙල්වා අතේ මා හට එවන්නීය.
- ඔය කඩවල් වල ජරාවල් කන්නෙඩා අපේ වික්‍රම මහත්තයා මේවා කාල බලන්ඩ ගෙදර හදපුවා.
දෙන්න පිගාන මම හොදන්නං ආයෙ ඕක මොකක්ද ?
--- මට කිසි දිනක ඔහුව තේරුම් ගැනීමටත් බැරි විය. දරුවකුත් නැත. බාගදා ඔහුගේ දරුවෙකුට මෙන් මට ආදරේ කරනවා විය හැකිය.
මා විවාහ වු දවසේ ඔහුටත් ආරාධනා කලෙමි..
- ආඩවනේ අපේ වික්‍රම මහත්තයා අපිටත් එන්ඩ කියල. කොච්චර දෙයක්ද අප්පා.
මම ගෞරවයක් වන්නට ආරාධනා කලත් සෙල්වා එදාත් මගුල් ගෙදර සියලු වැඩකටයුතු ගැන අකුරටම සොයා බලා හැකි පමණ උදවු කලේය. බිරිඳ ඉවුම් පිහුම් කටයුතු වලට උදවු කරනු දුටිමි.
-----
තව නොබෝ දිනකින් මා  නුවරඑළිය සහකාර මැතිවරණ උසස් වීම ලැබ කොමසාරිස් ලෙස පත්වී යායුතුය. එය මාගෙත් ගෝතමියගේත් එක සිහිනයකි. එක අතකට රජයේ සේවය යනු අම්බලම්වල ජීවත්වන්නන් වැනිය. යන අතකට යා යුතුය. මේ ත්‍රිරිකුණාමලය දැන් මට උපන් ගම සේ දැනෙයි. නිවාඩුවකට ගෙදර ගියත් ගොතමිගේ ගමේ ගියත් දුවගෙන ආවේ මේ දූවිලි පොළව සිඹින්නටය. මුදු පිළි ගද ගහන සුළග විඳිමටය. ඒ සියල්ලට මා හුරු කලේ සෙල්වාය. මාගේ මාරු වීම කාට නැතත් ඔහුට දැනුම් දිය යුතු යැයි සිතුවත් එය මෙතරම් පමා කලේ එය ඔහුට කීමට තරම් හිතේ හයියක් මටත්, එය දරාගැනීමට තරම් හයියක් ඔහුටත් නැති බව දන්නා නිසාවෙනි.
එහෙත් නොකියාම ගොස් වැරදිකරුවකු වීමට අකමැති නිසා සෙල්වා හමුවීමට ගියෙමි.
+ සෙල්වා පොඩ්ඩක් ආවනං.
- අප්පා අපේ වික්‍රම මහත්තයානෙ . නොකියාම ඇවිල්ලා ගෙදර. එන්ඩ වාඩි වෙන්න.
+ නැ මට හිදිසියි මම යන්න ඕන.
- වික්‍රම මහත්තයා ආවේ !
+ සෙල්වාට පණිවිඩයක් දෙන්න තියෙනව.
- මොකක්ද අප්පේ ... අපේ මහත්තය අප්පච්චි කෙනෙක් වෙන්න යනවද ?
+ ඉතිං එක් මම සෙල්වට කිවුවනෙ. මේක වෙන එකක්.
- ම්..
+ සෙල්වා. මම මෙහෙන් යනවා. නුවරඑලියට.
- ඇත්තමද අපේ මහත්තයා.
( සෙල්වාගේ දෑස් ලොකු වී රතු පැහැ විය )
+ ඔවු සෙල්වා. ගොත්මිත් කැමතියි එහෙ යන්න.අනික දරුවෙක් ලැබුනාම එතැන එයාලත් එක්කම ඉන්න එක හොදයිනෙ.
- දරුවයි නොන්ටයි මෙහෙ එන්න බැරිද මහත්තයා.
+ මෙහෙ අමාරුයි පොඩි එකෙක්ට. අපිට නං ගානක් නැ
- ඔය ඕන තරං පොඩි උන් ඉන්නෙ මෙහෙ මහත්තයා.මොන අමාරුවක්ද ?
+ සෙල්වා අයෙත් මට බනිනවද ?
* සෙල්වා, මහත්තයාට යන්න දෙන්න..සුභ පතන්න. දරුවා නිසානෙ යන්නෙ. දැන් අපේ කාලෙ ඉවරයිනෙ සෙල්වා.
( මෙතෙක් වේලා කාමරයේ දොර රෙද්දෙන් මුහුණ පමණක් ඔබා බලා සිටි සෙල්වාගේ බිරිඳය ඒ )
- හ්ම් මහත්තයගේ කැමැත්තක්. එත් මට දුකයි.
+ මටත් දුකයි සෙල්වා මේක දාලා යන්න . යන්නම වෙනව.
* මහත්තයා පොඩි පොරාන්දුවක් වෙන්න.
( සෙල්වාගේ බිරිඳ මා ළගට විත් ඉල්ලිමක් කලාය )
+ මොකක්ද අම්මා !
( මම කිසිදිනක ඇයව ආමන්ත්‍රණය නොකත් අම්මා යැයි කථාකලෙමි. )
එක් වරම ඈ හඩා වැටුනාය. ඇය මෙතෙක් වේලා පිටුපසට කර හංගාගෙන සිටි පින්තුරයක් මා අත තැබීය. එහි සිටයේ කුඩාකල වූ මා ය.
* මාහත්තයා. ඔය ඉන්නෙ මගේ පුතා. එයා නැතිවුනා අවුරුදු විසිපහේදි විතර. ඕක මහත්තය අරං යන්න. මහත්තයට පුළුවන්නං අපිට මාසෙකට පාරක් හරි ලියුමක් එව්න්න මහත්තයගෙ දුක සැප ලියල. ඒ ඇති.
+ මොකක්. ඒ මොනව වෙලාද ? සෙල්වා. !
- අපි දුප්පත් මිනිස්සු මහත්තයා. පුතා කොල්ල කාලෙම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. නොකා නොබී වොලවට කෑමක් නොගෙන. කොල්ලට ඕන වුනේ අපිව සතුටෙන් තියන්න. ඒත් වික්‍රම මහත්තයා කොල්ලට ලෙඩක් ආව හොඳ කරන්න බැරි බඩවැල් පුපුරල කොල්ල නැති වුනා. මහත්තව පලවෙනි දවසෙ දැක්කාම මට මතක් වුනේ පුතාව. මම ඒක ගෙදර ඇවිල්ලද කිවුව. අපිට අපේ නැති වුන පුතා ආයෙත් ලැබුන කියල අපි සතුටෙන් මහත්තය දිහා බලන් හිටිය.
+ ඇයි මෙච්චර කල් කිවුවෙ නැත්තේ ?
- මහත්තයට එතකොට අපිව වදයක් වෙනව මහත්තය. කමක් නැ මහත්තයට හොඳක් වෙනවනං මෙහෙන් ගියාට. එත් පුලුවන් නං අපිට ලියමක් වත් එවන්න බලල හිත හදා ගන්න.
+ හොඳමයි මම ඒක කරන්නං සෙල්වා.මටත් දුකයි පුතා ගැන. මම ගිහිල්ල එන්නං සෙල්වා.
- හොදමයි අපේ මහත්තයා.
තව දුරටත් එතැන කඳුළු හිර කර ගත නොහැකි නිසා ඉක්මනින් පිටත් වූයෙමි.
සෙල්වා මෙතුවක් කල් වේලාවට කන්න යැයි මට බැණ වැදී ඇත්තමෛ් නිසාවෙනි. සෙල්වාට සමු දී ගෙයින් එලියට අවුත් කඩුල්ල පැණීමි.
- මහත්තයා . මහත්තයා...
සෙල්වා දුව විත් මා නැවතීය..
+ ඇයි !
- මහත්තයා. වික්‍රම මහත්තයට මට දෙන්න දෙයක් නෑ. කොහේ හිටියත් රත්තරං මහත්තය පරිස්සමින් ඉන්න. මහත්තය යන දවසට මට කියන්න මම එනන්ං බඩු පටවන්න. එහෙට ගිහින් බාන්නත් මම එන්නං. මේ දුප්පත් මට කරන්න පුලුවන් එච්චරයි මහත්තයා. තව මොනව හරි කෙරෙන්න තියෙනවනං කියන්න.
+ නැ සෙල්වා ඕන නැ.. කට්ටිය ඉන්නවනෙ. සෙල්වා එදාට එන්නකො.
- තව එකක් මහත්තයා.
+ එදාට මම ආවාම. එදාට මහත්තය කන්තොරුවෙ වික්‍රම මහත්තය නෙවෙයිනෙ. මහත්තය යන්න කලින් එක පාරක් මට පුතා කියන්න දෙනවද ?
පිළිතුරක් ගලපා ගත නොහැකි තැන මා ඔහු බදාගෙන හැඬුවෙමි..... !

-------------- කුරුළු-----------

Wednesday, October 14, 2015

== විළඳ කොයිද කාසි නැතිව - නාඬන් සැළලිහිණි ==



.
- අපේ මහත්තය !
+ හ්ම්
- අපි මොකෝ දැන් කරන්නෙ ?
+ ඒ කිවුවෙ ?
- මම හිතුවෙ නැ අපේ මහත්තයට මෙහෙම කරයි කියල
+ කොහොමද
- මහත්තය දන්න සේරොම දේවල් රවට්ටල අහගත්තලු නේද ඒ මිනිස්සු.
+ හ්ම්
- ලොකු එකා එපා කියනකොටවත් මහත්තයට ටිකක් ඉවසන්න තිබුණ. ඔය සාස්තරේ අපිට නොතේරුණාට උන්ට වටිනව නේද? පරම්පරාවෙන් එන එකක් නේද මහත්තය..
+ එහෙමයි.
- හ්ම්. දැන් ඉතින් පරපුරේ උන්ගෙනුත් දොස් එන්නෙ මහත්තයට තමයි.
+ කමක් නැ මැණිකෙ
- එහෙම කියල කොහොමද ?
+ ඒ චිත්‍ර හරි ලස්සනයි තමා. ඒක හරි වටිනවත් තමා..
- ඒකනෙ.. මම හරි ආසයි ඉස්සර මගෙ මහතත්ය අදින ඒ චිත්තර දිහා බලන් ඉන්න. ඒවගෙ තිබුනෙ පුදුම ලස්සනක්.
+ ඒක මට මගේ අප්පච්චිගෙන් ලැබුන දෙයක් නේ.
- හුහ්. මම කිවුව ඕකා අපේ ගෙට රිංගනකොට මහත්තයට විස්වාස කරන්න එපා කියල. ඇහුවෙ නැනෙ ඉතින්.
+ මිනිස්සුනේ මැණිකෙ හැමෝම
- මහත්තයගෙ චිත්‍ර කුණු කොල්ලෙට අරං ගිහිං මේ රටේ තැන් තැන් වල එල්ලල ගිණි ගනං වලට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය.
+ හ්ම්
- ඒකා පිට රට ඒවා පිට රට සුද්දොන්ට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය. මහත්තයගෙන් රුපියල් 100කට ගත්තු අර කොක්කු දෙන්න ඉන්න පින්තුරෙ ඒ මනුස්සය අර ඉන්දියන් කාරයාට විකුණල තිබුනෙ රුපියල් ලක්සෙකටනෙ. ඒක දැනගත්තු වෙලාවෙත් මහත්තය කරබාගෙන හිනා වුනා විතරයි.
+ හ්ම් මිනිස්සුනෙ ... කොකා පෙන්නල විකුණල. ඒ මිනිහා කොහොමත් බිස්නස් වලට දක්සය.
- මිනිස්සුනෙ තමා ..අපේ මහත්තයනං වෙස්සන්තර ද මංද?
එක්කො ඒ දවස්වලම කීයක් හරි වැඩිපුර ඉල්ලන්න එපැයි. ඒ ඇරත් ඒ චිත්‍ර අදින රහස් විදිහ අහගෙන රිගනකොට මහත්තය කට පියන් ඉන්න එපැයි.
+ මගෙන් ඇහුව මම කිවුව ..
- ඉතින් ඇයි පොඩ්ඩක් වත් සැක හිතුනෙ නැද්ද?
+ ඇයි මැණිකෙ මං මිනිස්සුන්ව සැක කරන්නෙ?
- හුහ්.. අනේ මගේ කට ඉතිං.. ළග තීන්ත කලවං කරපු එකාවත් අරංනෙ ගිහින් තියේනනෙ.. දැන් දෙන්නත් එක්ක එකතු වෙලා ඇදල විකුනයි. අඩු ගානෙ අපේ ජාතියෙ එකෙක් නං කමක් නැ. ඕනවට වඩා දැංවත් විස්වාස කරන්න එපා මිනිස්සුන්ව..
+ ජාතියනං මොක වුනත් මොකද මැණිකෙ ! මිනිස්සුනෙ.. මම ඕනවට වඩා විස්වාස කලේ නෑ ඒ අය විස්වාසය කඩ කලා එච්චරයි ..
- දැන් ඉතින් අර මහත්තයගෙ චිත්‍ර විකුනපු කඩ වලට මහතත්යම චිත්‍ර අරං යනවද විකුණන්න ? නැත්තං මහත්තය කඩයක් දානවද ?
+ හ්ම්.. අපි වෙන මොනව හරි කරමු මැණිකෙ. චිත්‍ර අදින එක මගේ වැඩක් වුනාට ඒවා විකුණං කන්න මං ලැහැස්සති නැ
- එහෙනං අර මිනිහ කලේ
+ මැණිකෙට මතකද ඒ මනුස්සය අපේ ගෙදර ආව දවස්. පවු! හරියට කැමක් බිමක් වත් තිබුනෙ නැ ඒ දවස් වල ඒ ගොල්ලන්ගෙ ගම් වල හරි කරදර. ඉතින් මම වෙන කාටවත් නොදීපු මගේ සාස්තරේ ඒ මනුස්සයට දුන්නෙ පවු කියල. කමක් නැ ඒ මනුස්සයට හොදයි නං හැදිච්ච දෙං. හැම දාම මම සතුටු වුනේ ඒ මනුස්සය දියුණු වෙනව දැකල. ඒ පවුල හොදින් ඉන්නව දැකල.
- මහතත්ය.. එතකොට අපේ උන් දෙන්නට..
+ හ්ම............... මැණිකෙ අර මනුස්සය අරංගියේ මගේ සාස්තරයක් විතරයි. මගේ ඔලුවයි අත් දෙකයි තාම තියෙනවනේ.. අනික මගේ උන් දෙන්න ගැන මම දන්නව. උන්ට අප්පච්චිගෙ දේ ඕන නැ.. උන් උන්ගෙ ගමන ගියාවෙ..
- එහෙම බැහැනෙ මහත්තය මම ගහනව පොල් මෝදර දේවාලෙ ගිහින් .....
+ මැණිකෙ.. ඒ මිනිස්සු දන්නෙ නැ සල්ලි කියන දේ අපේ හිත් වලට කොච්චර කරදර දෙනවද කියල. යස ඉසුරු මිල මුදල් කියන්නෙ නිතරම කරදර දෙන දේවල්. අපට මේ මදැ.. ඒ මින්ස්සු දැං යාන්තං හොදින් ඔලුව උස්සන් ඉන්නව. එත් ඒ අයට කොච්චර වද දෙනව ඇතිද මට කරපු දේ..
- හිත හොද වැඩි ඔයාගෙ
+ මැණිකෙට පුලුවන්නං ඒ පොල් ගෙඩියත් ඒ මිනිස්සුන්ට ගිහින් දෙන්න මොකද ඒකත් ප්‍රෙයා්ජන වේවි..! මට මැණිකෙ ඉන්නව, කොල්ලො දෙන්නෙක් ඉන්නව මට ඒ ඇති ! පවු ඒ මනුස්සයට මුකුත් නැ ... තමන්ගෙ කියල දරුවෙක්වත් නැහැ දායාද දෙන්න. එහෙවු එකේ ගොඩ ගහල මොකටද මැණිකෙ.. මැණිකෙ හිතනවද ඔය මනුස්සය වටේ ඉන්න අය ඔය මනුස්සය අසරණ වුනාම උදවු කරාවි කියල..
- හ්ම්..
+ ගිය දේ ගියාවෙ.. මේ ලෝකෙම මිනිස්සු මගේ චිත්‍ර දැකල තියෙන ඒකේ මම ආයෙ අමුතුවෙන් ඒක පෙන්වන්න ඕන නැ. අපි දැන් ලෝකෙට අලුත් දෙයක් පෙන්නමු...මැණිකෙට පුළුවන්ද අපි ආදරේ කරපු කාලෙ වගේ මාව විස්වාස කරල තාමත් ඉන්න.. අවුරුදු 30කට ප්සසෙත් ... එහෙම පුලුවන් නං මට ලොකු හයියක් ..
- හ්ම් .. පුලුවං
+ තේ එකක් බොමුද මැණිකෙට පුලුවන්නං..
- කිරි නැ ! පිටි ඉවරයි මහත්තය.. අන්තිම ටික පොඩි එකාට පන්ති යන්න උදේට තියන්න ඕන..
+ කහට එකක් බොමු. මේ වැස්ස වෙලාවට කියාපු දේ...
- හාං.. අනේ මන්ද !!!
===================
විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණි
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතිං කුමට අඬනවාද
නාඬන් සැළලිහිණි...

කුරහන් මල් හිනා නොවී
කිරි දත් ටික හැලුනී
වැව හිඳිලා සාගතයට
ගොයම් යාය මැරුණී
දුප්පත් කම හංගන්නද
නාඬන් සැළලිහිණි...

අඳුන් තෙලින් සරසන්නට
නැත අත මිට ගිහිනී
ගම් බිම් නැති අප අසරණ
නොවේද සැළලිහිනී
ඉගිල්ලිලා යන්න ඉතිං
කූඩුවෙ දොර අරිමී....
ගායනය - එඩ්වඩ් ජයකොඩි
=====================

Friday, May 1, 2015

නමක් නැති ලිපි 05

- මොකෝ මේ ළමය තාත්ත එක්කන් ආවෙ නැත්තෙ

ඔහු කිසිත් නොකීවේය.. හැඳ සිටියේ ඉහළ පැලැන්තියේ ඇදුම්ය. පෙනුමෙන් නම් පොහොසත් වගේම වැදගත් පවුලක දරුවෙකි. කැරලි ගැසුනු අක්බමරු කොණ්ඩය පීරා තිබුනේද නැත. තද කලු පැහැ වීදුරු බෝල දෙකක් මෙන් දිලිසුනු දෑස බිමට හරවාගෙන පන්තියේ ගුරුතුමිය ඉදිරි පිට නොසැලී සිට ගෙන සිටියි. උරහිසට කිට්ටු වන තරමටම දිගු වූ කන් පෙති ඇත්තෙකි. සමෙහි පැහැයද මුහුණුද පින් පාටමය.. කිසිත්ම නොකීවෙන් ගුරුතුමියගේ ඉවසීමේ සීමාව කෙලවර වෙමින් තිබේ.

- ඇයි ළමයො කතා නැත්තෙ.. පුතාට තාත්තව එක්කන් එන්න කියල මම කොච්චර කියනවද? ඇයි පුතා තාත්තව එක්කන් ආවෙ නැත්තෙ..
පුංචි දෑසින් ගලා හැලුනු කඳුලු කැට දෙකක් කකුලේ මා පට ඇගිලි දෙකට මඳක් එහායින් පතිතවිය. 

+ අප්පච්චි නෑ.....

- පුතාගෙ අප්පච්චි නැත්ද ? එයා නැති වෙලාද ? 

නැ ටීචර් එයාගෙ තාත්ත එයාව දාල ගිහිල්ල... එයා ඉපදුන දවසෙම. අපෙ අම්මල කියල තියේනනෙ එයා එක්ක කතා කරන්නවත් එපා කියල....

ඔහු ගුරුතුමියගේ මේසය ලඟ දණ ගසාගත්තේය... කිසිත් නොකියා තම දෑතේ අත්ල ගුරුතුමිය වෙත පැවේය... දෑතේ අතගැලි සියල්ල එක සමානය. අසාමාන්‍ය පිහිටීමකි...

+ ඔවු ටීච මගේ අප්පච්චි මාව දාල ගිහින්. මම අප්පචිව දැකල නැ. මට අප්පච්චිව ගේන්න බෑ ඉස්කෝලෙට. ටීචත් මට දඩුවම් කරනවනම් කමක් නෑ....

- ඇයි එහෙනම් පුතාගෙ අම්මව එක්කගෙන ආවෙ නැත්තෙ..

+ අම්මත් නෑ..

- ඒ ඇයි අම්මත් පුතාව දාල ගියාද..

+ නෑ ලොකු සීය අම්මත් එක්ක තරහ නිසා අම්මව එයාගෙ ගෙදර යැවුව..අම්ම නිසාලු අප්පච්චි ගෙදරින් ගියේ..

- පුතා ඉන්නෙ කාත් එක්කද ?

+ මම ඉන්නෙ ලොකු සීයගෙ ගෙදර..

- මම පුතාට ගහන්නෙ නැ කෝ මෙහෙන් එන්න මගේ ලගට..

* චීටර් අපෝ එයාව ලගට ගන්නෙපා අපේ අම්මල දැන ගත්තොත් අපිව පන්තියට එවන එකකුත් නැ.. අපේ ගමට මෙහෙම වෙලා තියෙන්නෙ එයාගෙ අප්පච්චි ගම දාල ගිය නිසාලු. ඒ සේරොටම හේතු මෙයා ඉපදුන එක කියලයි අපිට කියල තියේනනෙ.. මෙයා යන යන තැන හරියන්නෙ නැ කියලයි අම්මල කියන්නෙ..

- කමක් නැ කෝ පුතා එන්න මෙහෙට..

වදනකුදු නොදෙඩූ ඔහු සෙමෙන් හිස ඔසවා ගුරුතුමිය දෙස බැලීය.. පුළුල් නලල් තලයත් එහි වූ දකුණට කැරකුනු කෙස් රොදත් දුටුවේ එවිටය..එවේලෙහිනම් ඔහුගේ මුවෙහි යන්තම් සිනා රැල්ලක් තිබුනි.. මේ නම් ඒකාන්තයෙන්ම ඔහු විය යුතුය.මේසය වටෙන් ගොස් ඔහු ගුරුතුමියගේ අතින් ඇල්ලා ගත්තාය..

+ ලොකු සීය අම්මට සමාව දෙයි නේද ටීචර්. අප්පච්චි ආයෙ එයි නේද ටීච අපිව බලන්න..අප්පච්චි ගියේ අපි හැමෝගෙම හොදටලු.. අම්ම මට කිවුව. අප්පච්චි එක්ක කවදාකවත් තරහ වෙන්න එපා කියල. අප්පච්චි ආයෙ එනව කියල ගිහින් තියෙන්නෙ.. අප්පච්චි ගිහින් තියෙන්නෙ මම ඉපදුනු දවසෙ තමා ටීචර්. ඒ මම ඉපදුන නිසා නෙවේලු. අප්ච්චි මම ඉපදෙනකම් ඉදල තියේනනෙ පිරිමි ළමයෙක්ද කියල බලන්න. මට අම්මව බලාගන්න පුලුවන්නෙ ඒ නිසා අපච්චි ගිහින් තියේනනෙ... එයා ආයෙ එයිද ටීච. 

- හ්ම්.. එයි මගෙ පුතේ.. අප්ච්චිත් එයි... ඔයාගෙ අම්මත් එයි.. මගෙ පුතාට මම ඉන්නවනෙ.හොඳද.. අපි හොඳට ඉගෙන ගමු පුතා අප්ච්චි එනකොට හොදට ඉගෙන තියේනනොන එයාට පෙන්න හොදද පුතේ..

+ හා ටීචර්.. අප්පච්චි ආවම මම යනව එයත් එක්ක ටීචර්.. මම අප්පච්චිට ආදරෙයි දැකල නැති වුනත්.. අම්ම නම් හැම වෙලේම කියන්නෙ මම, අප්පච්චි වගේමයි කියල...

- මගෙ පුතාගෙ නම මොකක්ද පුතේ.. !

+ රාහුල !!
==============
------- කුරුළු---