Thursday, November 19, 2015

සෙල්වා

මා ත්‍රිකුණාමලේ වැඩ බාරගනිත්තී කාර්යාලයේ කිසිවෙකුත්ම හදුනන්නේ නැත. යාන්තං දැන හඳුනාගත්තානං ඒ නිතරම මගේ කාමරයට එබිකම් කල සෙල්වා පමණි.
ඔහු මගේ අප්පච්චී වගේ වයස වුනත් වැඩ කලේ කඩි වේගයකිනි.
මා රැකියාවට පැමිනි අලුත මුලු ත්‍රිකුණාමලයම මට පෙන්වීම සෙල්වාගේ ලොකුම ආසාවක් විය. ඒ අනුව මගේ රැකියාවට අදාල පාසල්, ගුරු නේවාසිකාගාර පමණක් නොව කඩ පිල් ළමුන්ගේ නිවෙස්ද ඒ අතර විය.
සෙල්වාගේ වැඩිම කැමැත්තක් තිබුනේ ඔහුගේ නිවසට මා කරඳවාගෙන යාමටයි. දෙමළ ජාතිකයින් වෙසෙන ලැයිම් ගෙවල් අතර ඔහුගේ කුඩා නිවස පිහිටා තිබුනි. සෙල්වාත් ඔහුගේ බිරිඳත් එහි වූහ.
මා එහි රැගෙන යාමේ අවශ්‍යතාව හොඳින් වැටහුනේ එහි ගිය පසුය. ඒ අවුරුදු 35ක වැඩි සෙල්වාගේ මේ අධ්‍යාපන කන්තෝරු සේවා කාලය තුල තිරිකුනාමලයට පත්ව ආ කිසිම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ඔවුන් ගේ නිසට නොපැමිණි නිසාවෙනි.
කාර්යාලයේදී සියළුම නිලධාරීන්ගේ කාර්යාල කාර්ය සහය කටයුතු ඔහු අතින් සිදු කෙරුණත් කිසි දිනක මා ගැන සොය බැලීම අමතක නොකලේය.
දිනක් ඔහු මාගේ කාමරයේ දොර ළග නතර වී මොනවාදෝ මුමණනු ඇසෙයි.
+ මොකෝ සෙල්වා කාටද බැන බැන ඉන්නෙ. ( දන්නා දෙමලින් ඇසීමි)
- නැ කියල වැඩක් නැ සර්ලට, දැන කීයද වෙලාව? වැඩ වැඩ වැඩ ඉවරයක් නැ. උදේ ආව වෙලාවෙ ඉදන්. උදේ බැඳන් ආව බත් එක නේද? දැන් සීතල වෙලා ඇති . කාල ඉන්න අප්පා. නිකං ලෙඩ හදාගන්න හදන්නෙ. ඉට පස්සෙ අපිට තමා කරදරේ. මහන්සි වෙලා වැඩ කරල සල්ලි හොයල වැඩක් නැනේ බෙහෙත් ගන්න ඒ සල්ලි වියදම් කරනවනම්. ඔය වැඩ පැත්තක දාල කාල ඉන්න මහත්තයා.
--- ඔහු බැන ඇත්තේ මටය. තානාන්තර අමතක කොට මා ඔහුගේම දරුවෙකු මෙන් සලකා මා ගැන සොයා බැලීම ඔහුගේ දවසේ රාජකාරිවන් එකක් වු බව මට හැගුනේ ටික කලක් ගත වෙද්දීය.
ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම ආදරෙන් සැලකුවාය. තම නිවසේ පිළියල කරන මොන ආහාරයක් හෝ වේවා ඒ සෙල්වා අතේ මා හට එවන්නීය.
- ඔය කඩවල් වල ජරාවල් කන්නෙඩා අපේ වික්‍රම මහත්තයා මේවා කාල බලන්ඩ ගෙදර හදපුවා.
දෙන්න පිගාන මම හොදන්නං ආයෙ ඕක මොකක්ද ?
--- මට කිසි දිනක ඔහුව තේරුම් ගැනීමටත් බැරි විය. දරුවකුත් නැත. බාගදා ඔහුගේ දරුවෙකුට මෙන් මට ආදරේ කරනවා විය හැකිය.
මා විවාහ වු දවසේ ඔහුටත් ආරාධනා කලෙමි..
- ආඩවනේ අපේ වික්‍රම මහත්තයා අපිටත් එන්ඩ කියල. කොච්චර දෙයක්ද අප්පා.
මම ගෞරවයක් වන්නට ආරාධනා කලත් සෙල්වා එදාත් මගුල් ගෙදර සියලු වැඩකටයුතු ගැන අකුරටම සොයා බලා හැකි පමණ උදවු කලේය. බිරිඳ ඉවුම් පිහුම් කටයුතු වලට උදවු කරනු දුටිමි.
-----
තව නොබෝ දිනකින් මා  නුවරඑළිය සහකාර මැතිවරණ උසස් වීම ලැබ කොමසාරිස් ලෙස පත්වී යායුතුය. එය මාගෙත් ගෝතමියගේත් එක සිහිනයකි. එක අතකට රජයේ සේවය යනු අම්බලම්වල ජීවත්වන්නන් වැනිය. යන අතකට යා යුතුය. මේ ත්‍රිරිකුණාමලය දැන් මට උපන් ගම සේ දැනෙයි. නිවාඩුවකට ගෙදර ගියත් ගොතමිගේ ගමේ ගියත් දුවගෙන ආවේ මේ දූවිලි පොළව සිඹින්නටය. මුදු පිළි ගද ගහන සුළග විඳිමටය. ඒ සියල්ලට මා හුරු කලේ සෙල්වාය. මාගේ මාරු වීම කාට නැතත් ඔහුට දැනුම් දිය යුතු යැයි සිතුවත් එය මෙතරම් පමා කලේ එය ඔහුට කීමට තරම් හිතේ හයියක් මටත්, එය දරාගැනීමට තරම් හයියක් ඔහුටත් නැති බව දන්නා නිසාවෙනි.
එහෙත් නොකියාම ගොස් වැරදිකරුවකු වීමට අකමැති නිසා සෙල්වා හමුවීමට ගියෙමි.
+ සෙල්වා පොඩ්ඩක් ආවනං.
- අප්පා අපේ වික්‍රම මහත්තයානෙ . නොකියාම ඇවිල්ලා ගෙදර. එන්ඩ වාඩි වෙන්න.
+ නැ මට හිදිසියි මම යන්න ඕන.
- වික්‍රම මහත්තයා ආවේ !
+ සෙල්වාට පණිවිඩයක් දෙන්න තියෙනව.
- මොකක්ද අප්පේ ... අපේ මහත්තය අප්පච්චි කෙනෙක් වෙන්න යනවද ?
+ ඉතිං එක් මම සෙල්වට කිවුවනෙ. මේක වෙන එකක්.
- ම්..
+ සෙල්වා. මම මෙහෙන් යනවා. නුවරඑලියට.
- ඇත්තමද අපේ මහත්තයා.
( සෙල්වාගේ දෑස් ලොකු වී රතු පැහැ විය )
+ ඔවු සෙල්වා. ගොත්මිත් කැමතියි එහෙ යන්න.අනික දරුවෙක් ලැබුනාම එතැන එයාලත් එක්කම ඉන්න එක හොදයිනෙ.
- දරුවයි නොන්ටයි මෙහෙ එන්න බැරිද මහත්තයා.
+ මෙහෙ අමාරුයි පොඩි එකෙක්ට. අපිට නං ගානක් නැ
- ඔය ඕන තරං පොඩි උන් ඉන්නෙ මෙහෙ මහත්තයා.මොන අමාරුවක්ද ?
+ සෙල්වා අයෙත් මට බනිනවද ?
* සෙල්වා, මහත්තයාට යන්න දෙන්න..සුභ පතන්න. දරුවා නිසානෙ යන්නෙ. දැන් අපේ කාලෙ ඉවරයිනෙ සෙල්වා.
( මෙතෙක් වේලා කාමරයේ දොර රෙද්දෙන් මුහුණ පමණක් ඔබා බලා සිටි සෙල්වාගේ බිරිඳය ඒ )
- හ්ම් මහත්තයගේ කැමැත්තක්. එත් මට දුකයි.
+ මටත් දුකයි සෙල්වා මේක දාලා යන්න . යන්නම වෙනව.
* මහත්තයා පොඩි පොරාන්දුවක් වෙන්න.
( සෙල්වාගේ බිරිඳ මා ළගට විත් ඉල්ලිමක් කලාය )
+ මොකක්ද අම්මා !
( මම කිසිදිනක ඇයව ආමන්ත්‍රණය නොකත් අම්මා යැයි කථාකලෙමි. )
එක් වරම ඈ හඩා වැටුනාය. ඇය මෙතෙක් වේලා පිටුපසට කර හංගාගෙන සිටි පින්තුරයක් මා අත තැබීය. එහි සිටයේ කුඩාකල වූ මා ය.
* මාහත්තයා. ඔය ඉන්නෙ මගේ පුතා. එයා නැතිවුනා අවුරුදු විසිපහේදි විතර. ඕක මහත්තය අරං යන්න. මහත්තයට පුළුවන්නං අපිට මාසෙකට පාරක් හරි ලියුමක් එව්න්න මහත්තයගෙ දුක සැප ලියල. ඒ ඇති.
+ මොකක්. ඒ මොනව වෙලාද ? සෙල්වා. !
- අපි දුප්පත් මිනිස්සු මහත්තයා. පුතා කොල්ල කාලෙම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. නොකා නොබී වොලවට කෑමක් නොගෙන. කොල්ලට ඕන වුනේ අපිව සතුටෙන් තියන්න. ඒත් වික්‍රම මහත්තයා කොල්ලට ලෙඩක් ආව හොඳ කරන්න බැරි බඩවැල් පුපුරල කොල්ල නැති වුනා. මහත්තව පලවෙනි දවසෙ දැක්කාම මට මතක් වුනේ පුතාව. මම ඒක ගෙදර ඇවිල්ලද කිවුව. අපිට අපේ නැති වුන පුතා ආයෙත් ලැබුන කියල අපි සතුටෙන් මහත්තය දිහා බලන් හිටිය.
+ ඇයි මෙච්චර කල් කිවුවෙ නැත්තේ ?
- මහත්තයට එතකොට අපිව වදයක් වෙනව මහත්තය. කමක් නැ මහත්තයට හොඳක් වෙනවනං මෙහෙන් ගියාට. එත් පුලුවන් නං අපිට ලියමක් වත් එවන්න බලල හිත හදා ගන්න.
+ හොඳමයි මම ඒක කරන්නං සෙල්වා.මටත් දුකයි පුතා ගැන. මම ගිහිල්ල එන්නං සෙල්වා.
- හොදමයි අපේ මහත්තයා.
තව දුරටත් එතැන කඳුළු හිර කර ගත නොහැකි නිසා ඉක්මනින් පිටත් වූයෙමි.
සෙල්වා මෙතුවක් කල් වේලාවට කන්න යැයි මට බැණ වැදී ඇත්තමෛ් නිසාවෙනි. සෙල්වාට සමු දී ගෙයින් එලියට අවුත් කඩුල්ල පැණීමි.
- මහත්තයා . මහත්තයා...
සෙල්වා දුව විත් මා නැවතීය..
+ ඇයි !
- මහත්තයා. වික්‍රම මහත්තයට මට දෙන්න දෙයක් නෑ. කොහේ හිටියත් රත්තරං මහත්තය පරිස්සමින් ඉන්න. මහත්තය යන දවසට මට කියන්න මම එනන්ං බඩු පටවන්න. එහෙට ගිහින් බාන්නත් මම එන්නං. මේ දුප්පත් මට කරන්න පුලුවන් එච්චරයි මහත්තයා. තව මොනව හරි කෙරෙන්න තියෙනවනං කියන්න.
+ නැ සෙල්වා ඕන නැ.. කට්ටිය ඉන්නවනෙ. සෙල්වා එදාට එන්නකො.
- තව එකක් මහත්තයා.
+ එදාට මම ආවාම. එදාට මහත්තය කන්තොරුවෙ වික්‍රම මහත්තය නෙවෙයිනෙ. මහත්තය යන්න කලින් එක පාරක් මට පුතා කියන්න දෙනවද ?
පිළිතුරක් ගලපා ගත නොහැකි තැන මා ඔහු බදාගෙන හැඬුවෙමි..... !

-------------- කුරුළු-----------

Wednesday, October 14, 2015

== විළඳ කොයිද කාසි නැතිව - නාඬන් සැළලිහිණි ==



.
- අපේ මහත්තය !
+ හ්ම්
- අපි මොකෝ දැන් කරන්නෙ ?
+ ඒ කිවුවෙ ?
- මම හිතුවෙ නැ අපේ මහත්තයට මෙහෙම කරයි කියල
+ කොහොමද
- මහත්තය දන්න සේරොම දේවල් රවට්ටල අහගත්තලු නේද ඒ මිනිස්සු.
+ හ්ම්
- ලොකු එකා එපා කියනකොටවත් මහත්තයට ටිකක් ඉවසන්න තිබුණ. ඔය සාස්තරේ අපිට නොතේරුණාට උන්ට වටිනව නේද? පරම්පරාවෙන් එන එකක් නේද මහත්තය..
+ එහෙමයි.
- හ්ම්. දැන් ඉතින් පරපුරේ උන්ගෙනුත් දොස් එන්නෙ මහත්තයට තමයි.
+ කමක් නැ මැණිකෙ
- එහෙම කියල කොහොමද ?
+ ඒ චිත්‍ර හරි ලස්සනයි තමා. ඒක හරි වටිනවත් තමා..
- ඒකනෙ.. මම හරි ආසයි ඉස්සර මගෙ මහතත්ය අදින ඒ චිත්තර දිහා බලන් ඉන්න. ඒවගෙ තිබුනෙ පුදුම ලස්සනක්.
+ ඒක මට මගේ අප්පච්චිගෙන් ලැබුන දෙයක් නේ.
- හුහ්. මම කිවුව ඕකා අපේ ගෙට රිංගනකොට මහත්තයට විස්වාස කරන්න එපා කියල. ඇහුවෙ නැනෙ ඉතින්.
+ මිනිස්සුනේ මැණිකෙ හැමෝම
- මහත්තයගෙ චිත්‍ර කුණු කොල්ලෙට අරං ගිහිං මේ රටේ තැන් තැන් වල එල්ලල ගිණි ගනං වලට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය.
+ හ්ම්
- ඒකා පිට රට ඒවා පිට රට සුද්දොන්ට විකුණනකොටත් මහත්තය කට පියන් හිටිය. මහත්තයගෙන් රුපියල් 100කට ගත්තු අර කොක්කු දෙන්න ඉන්න පින්තුරෙ ඒ මනුස්සය අර ඉන්දියන් කාරයාට විකුණල තිබුනෙ රුපියල් ලක්සෙකටනෙ. ඒක දැනගත්තු වෙලාවෙත් මහත්තය කරබාගෙන හිනා වුනා විතරයි.
+ හ්ම් මිනිස්සුනෙ ... කොකා පෙන්නල විකුණල. ඒ මිනිහා කොහොමත් බිස්නස් වලට දක්සය.
- මිනිස්සුනෙ තමා ..අපේ මහත්තයනං වෙස්සන්තර ද මංද?
එක්කො ඒ දවස්වලම කීයක් හරි වැඩිපුර ඉල්ලන්න එපැයි. ඒ ඇරත් ඒ චිත්‍ර අදින රහස් විදිහ අහගෙන රිගනකොට මහත්තය කට පියන් ඉන්න එපැයි.
+ මගෙන් ඇහුව මම කිවුව ..
- ඉතින් ඇයි පොඩ්ඩක් වත් සැක හිතුනෙ නැද්ද?
+ ඇයි මැණිකෙ මං මිනිස්සුන්ව සැක කරන්නෙ?
- හුහ්.. අනේ මගේ කට ඉතිං.. ළග තීන්ත කලවං කරපු එකාවත් අරංනෙ ගිහින් තියේනනෙ.. දැන් දෙන්නත් එක්ක එකතු වෙලා ඇදල විකුනයි. අඩු ගානෙ අපේ ජාතියෙ එකෙක් නං කමක් නැ. ඕනවට වඩා දැංවත් විස්වාස කරන්න එපා මිනිස්සුන්ව..
+ ජාතියනං මොක වුනත් මොකද මැණිකෙ ! මිනිස්සුනෙ.. මම ඕනවට වඩා විස්වාස කලේ නෑ ඒ අය විස්වාසය කඩ කලා එච්චරයි ..
- දැන් ඉතින් අර මහත්තයගෙ චිත්‍ර විකුනපු කඩ වලට මහතත්යම චිත්‍ර අරං යනවද විකුණන්න ? නැත්තං මහත්තය කඩයක් දානවද ?
+ හ්ම්.. අපි වෙන මොනව හරි කරමු මැණිකෙ. චිත්‍ර අදින එක මගේ වැඩක් වුනාට ඒවා විකුණං කන්න මං ලැහැස්සති නැ
- එහෙනං අර මිනිහ කලේ
+ මැණිකෙට මතකද ඒ මනුස්සය අපේ ගෙදර ආව දවස්. පවු! හරියට කැමක් බිමක් වත් තිබුනෙ නැ ඒ දවස් වල ඒ ගොල්ලන්ගෙ ගම් වල හරි කරදර. ඉතින් මම වෙන කාටවත් නොදීපු මගේ සාස්තරේ ඒ මනුස්සයට දුන්නෙ පවු කියල. කමක් නැ ඒ මනුස්සයට හොදයි නං හැදිච්ච දෙං. හැම දාම මම සතුටු වුනේ ඒ මනුස්සය දියුණු වෙනව දැකල. ඒ පවුල හොදින් ඉන්නව දැකල.
- මහතත්ය.. එතකොට අපේ උන් දෙන්නට..
+ හ්ම............... මැණිකෙ අර මනුස්සය අරංගියේ මගේ සාස්තරයක් විතරයි. මගේ ඔලුවයි අත් දෙකයි තාම තියෙනවනේ.. අනික මගේ උන් දෙන්න ගැන මම දන්නව. උන්ට අප්පච්චිගෙ දේ ඕන නැ.. උන් උන්ගෙ ගමන ගියාවෙ..
- එහෙම බැහැනෙ මහත්තය මම ගහනව පොල් මෝදර දේවාලෙ ගිහින් .....
+ මැණිකෙ.. ඒ මිනිස්සු දන්නෙ නැ සල්ලි කියන දේ අපේ හිත් වලට කොච්චර කරදර දෙනවද කියල. යස ඉසුරු මිල මුදල් කියන්නෙ නිතරම කරදර දෙන දේවල්. අපට මේ මදැ.. ඒ මින්ස්සු දැං යාන්තං හොදින් ඔලුව උස්සන් ඉන්නව. එත් ඒ අයට කොච්චර වද දෙනව ඇතිද මට කරපු දේ..
- හිත හොද වැඩි ඔයාගෙ
+ මැණිකෙට පුලුවන්නං ඒ පොල් ගෙඩියත් ඒ මිනිස්සුන්ට ගිහින් දෙන්න මොකද ඒකත් ප්‍රෙයා්ජන වේවි..! මට මැණිකෙ ඉන්නව, කොල්ලො දෙන්නෙක් ඉන්නව මට ඒ ඇති ! පවු ඒ මනුස්සයට මුකුත් නැ ... තමන්ගෙ කියල දරුවෙක්වත් නැහැ දායාද දෙන්න. එහෙවු එකේ ගොඩ ගහල මොකටද මැණිකෙ.. මැණිකෙ හිතනවද ඔය මනුස්සය වටේ ඉන්න අය ඔය මනුස්සය අසරණ වුනාම උදවු කරාවි කියල..
- හ්ම්..
+ ගිය දේ ගියාවෙ.. මේ ලෝකෙම මිනිස්සු මගේ චිත්‍ර දැකල තියෙන ඒකේ මම ආයෙ අමුතුවෙන් ඒක පෙන්වන්න ඕන නැ. අපි දැන් ලෝකෙට අලුත් දෙයක් පෙන්නමු...මැණිකෙට පුළුවන්ද අපි ආදරේ කරපු කාලෙ වගේ මාව විස්වාස කරල තාමත් ඉන්න.. අවුරුදු 30කට ප්සසෙත් ... එහෙම පුලුවන් නං මට ලොකු හයියක් ..
- හ්ම් .. පුලුවං
+ තේ එකක් බොමුද මැණිකෙට පුලුවන්නං..
- කිරි නැ ! පිටි ඉවරයි මහත්තය.. අන්තිම ටික පොඩි එකාට පන්ති යන්න උදේට තියන්න ඕන..
+ කහට එකක් බොමු. මේ වැස්ස වෙලාවට කියාපු දේ...
- හාං.. අනේ මන්ද !!!
===================
විළඳ කොයිද කාසි නැතිව
නාඬන් සැළලිහිණි
මල් නොපිපී මල් පැණි නෑ
ගිම්හානය පමණී
ඉතිං කුමට අඬනවාද
නාඬන් සැළලිහිණි...

කුරහන් මල් හිනා නොවී
කිරි දත් ටික හැලුනී
වැව හිඳිලා සාගතයට
ගොයම් යාය මැරුණී
දුප්පත් කම හංගන්නද
නාඬන් සැළලිහිණි...

අඳුන් තෙලින් සරසන්නට
නැත අත මිට ගිහිනී
ගම් බිම් නැති අප අසරණ
නොවේද සැළලිහිනී
ඉගිල්ලිලා යන්න ඉතිං
කූඩුවෙ දොර අරිමී....
ගායනය - එඩ්වඩ් ජයකොඩි
=====================

Tuesday, September 15, 2015

====== කිසිවෙකු නොදකින නිහඬ පැයේ - තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ==


.
- පොතක් කරනවලු නේද
+ හ්ම්
- නම මොකක්ද ?
+ “කුරුළු කවි “
- කවදද තියෙන්නෙ..
+ තාම දවසක් නැ.....
- හා එහෙනම් දවසක් දාල ෆේස් බුක් එකේ පෝස්ට් එක්ක දාන්නකො මම බලල පුලුවන් වුනොත් එන්නම් .
+ මොනවද අනේ පිට කෙනෙක් වගේ විස්තර අහ්නනෙ..
- නැ ඉතින් අපිට සලකන්නෙත් පිට කෙනෙක්ට වගේනෙ ඒකයි.
+ මම ? කවදද එහෙම කලේ ඔයාට ?
- නෑ ඉතින් පහුගිය දවස් ටිකේ කතාවක් වත් කලේ නැනෙ.. අපිව ගණන් ගත්තෙත් නැනෙ
+ අනේ නැ මම ටිකක් බිසි වුනා සුදු නංගි
- හ්ම් බිසි වුනාම අපිව අමතක වෙනව නම් ආදරේ ගැන හිතා ගන්න පුලුවනි
+ අයියෝ මොනවද අනේ පොතේ වැඩ නිසානෙ
- හ්ම්... නිකං වත පොතේ නම මොකක්ද කියන්න අහල මට කෝල් කලාද ? මගෙන් ඇහුවනං කියනවනෙ හොද නමක් .. නිකාං බොරුවට අර පෝස්ට් දදා ඇහුවෙ එක එක්කෙනාගෙන්.. හුහ්.
+ ඉතින් ඒ අයත් කිවුවෙ අනේ. .ඔයාටත් තිබුනනෙ කොමෙනට් එකක් දාන්න
- අනේ මේ යනව යන්න දෙන්නෙ උඩින් යන්න. මම මොකටද එහෙම කියන්නෙ.. කෝ දැන් පොතේ පිට කවරෙ ඉවරද
+ ඔවු
- ඉතින් කාගෙ ප්තුරෙද දැම්මෙ
+ කාගෙවත් නැහැ
- ඇයි අනේ මගේ පින්තුරෙ දාන්න එපැයි මුලට .
+ අයියෝ මම පොත් ගහන්නෙ විකුණන්න හිතාගෙන අනේ. ඔයාව දැම්මොත් නිකං දුන්නත් ගන්නෙ නැනෙ
- අනේ මේ යනව යන්න හරිද .. අපිව දැක්ක ගමන් පොත නිකං සං සං විකිනෙයි. හුම්... මදැ.. මිනිහගෙවත් පොතේ කවරෙට ඉන්නං කියල හිතං හිටිය.. ඊ...... ඉබ්බා...
+ ඒක හදල ඉවරයිනේ ඉතින්
- හරි දැන් කවදද එලිදක්වන්නෙ ..
+ නැ මම හිතුවෙ බුක් ෆෙයා දාන්න.. ඒත් මට ප්රින්ට් කර ගන්න වෙලා මදි වෙයි මගේ නංගි .. අනේ මන්ද.. මම ගොඩාක් උත්සාහ කලා..
- කෝ.. මේ.. දැන් දුකින්ද ඔයා..
+ ටිකක් අවුල්..
- අයියෝ දුක් වෙන්න එපා සුදු අයියෙ.. ! මේ අහන්නකො ඔයාට ප්රින්ට් කරගන්න බැරි වුනොත් ඔයා බුක් ෆෙයා එකේදි හැන්ඩ් බිල් ටිකක් බෙදන්න. හොඳද පොඩියට හරි එලි දැක්වීමක් කරන්න. ඔයාගෙ යාලුවො ආස ඇතිනෙ ඔයාව දැකල ඊට පස්සෙ පොත ගන්න.
+ හ්ම්
- අපි ලස්සන උත්සවයක් ලැස්ති කරගමු. ඊට ප්සසෙ විකුණන්න ඔයා එලියෙ. හොඳඳ...
+ හා එහෙමවත් කරමු..
- අයියෝ ඔයා දුකින්නෙ ඉතින් මට බැ ඔයා දුකින් ඉන්නකොට මට දුකයි..
මේ මම ලැස්ති කරන්නද එලි දක්වන වැඩසටහන. හැබැයි මට නිකං පොතක් ඕන.
+ කාටවත් නිකං දේනනෙනැ. පොතක් රුපියල් 350.00 කැමතිනං ගන්නව.. පන්සියයක් දුන්නොත් පුස්තකාලෙට ඔයාගෙ නමින් පොතකුත් යවනව මං.
- නැ ඕන නැ තියාගන්නව මහ ලොකු පොත.. මම 150ක් දෙන්නං. ඒක මගේ නමින් නෙවේ ඔහේගෙ නමින් යනවන පුස්තකාලෙකට. තමන්ගෙ කෙල්ලටවත් පොතක් නොදන නිසා පිනක් වත් වෙයිනෙ.මට ඔයාගෙ පොත එපා.
+හා එහෙම කරමු..
- අපෝ තියෙන නපුරු කම...
+ හා දැන් ෆොන් එක තියන්න මට කෝල් එකක් එනව..
- ආ ඇත්තද කවුද කෝල කර්නනෙ මේ වෙලාවෙ. මම තිය්නනෙ නැ..යකෝ ඉඳල ඉඳල මම කෝල කරන වෙලාවටමනෙ වෙන අයත් කෝල් කරන්නෙ.. තියන්නෙම නැ. සුවර් එකටම කේලලෙක් වෙන්න ඇති.
+ මේ .. පිස්සුද ? පොතේ ප්රින්ට් කරන කෙනා අනේ
- ආ සොරි සොරි මම තියනව ඇ .. ටටා බායි. ආදරෙන් ඉන්න..
+ ආදරෙන් ඉන්න සුදු නංගි... !!!!
====================
වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..
ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..
දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..
=====================
---කුරුළු----

Monday, August 24, 2015

==== ප්‍රේමයේ මන්දහාසිනි =====



ප්‍රේමයේ මන්දහාසිනි යෞවනේ සිහින සාගරේ
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ......
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා..
සඳත් වසන් වෙලා රැයත් මුදුන් කළා
පාව යයි සුන්දරයි ජීවිතේ.......
මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තනා
මිවිතේ අමා පුරම්ද රත් ලවන් පෙරා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කළා
පාව යයි සුන්දරයි ජීවිතේ......
පද - කුලරත්න ආරියවංශ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
https://www.youtube.com/watch?v=3yAVX37nneE