Thursday, July 5, 2018

====== දසිස් 01 ======



—- සසර ගමන හා සබැදිය ——–
.
ධූලි වළාවක් මැදින් මතු වූ රාම අහසට පැන “මෘතයු වාණය” තමා දෙසට මානා සිටියුරු හෙතෙම දිටීය.
මෙලොව පහල වූ කිසිදු ආයුධයකින් තමා නැසීම කල නොහැක්කක් එලොවින් මෙලොවට තම අමරණියත්වය සමගම පහල වූ “මෘතයු වාණය” දුට රාවණ සිත තැති ගති.
තම මලනු විභිෂණ ඒකාතන්තයෙන්ම මේ මා නසනායුධ රහස රාමට හෙලි කර ඇතිවා පමණක් නොව එය ඔහු අතට ලබා දී ඇත. මේ තරම්ම පාවා දීමක්… !
විභීෂණයටත් හේතු ඇති .. අනුකම්පා කටයුතුය මා මලණුවන්ය…
රාම “මෘතයු වාණය” එවීයැ…
එතැනින් මිදුණු එයැ මෙතැනින් පැමිණ රාවණ පපු කිඳාබැස්සේ ක්ෂණයකිනි..
පහතට නැවුනු රාවණයණ් දණ ගසා පොලව මත දකුනතින් සලකුණක් ඇඳ තම චක්ෂු දෙස බලා හිස සෙලවීය.
හී පහර දරමින් නැවතත් නැගී සිටීන රාවණ වත්තනට ආ සෙන්පති සිරුර බදාගති.
එකිණෙහිම සිරුරෙහි වෙනසක් දැනුන චක්ෂු රාවණයන්ගේ සිරුර දෙස නැවත බැලීය… දකුණු බාහුවෙහි වූ වජ්රාට සලකුණ මැකෙමින් පවතී…
සීතලය.. සිරුරට සෙවනැල්ලකදු නැත…….
මේ රාවණ නොව… ඔහු මවන ලද සෙවැනැලි ඡායාවක් පමණකැයි වහා වටහා ගත් චක්ෂු, හී සර වැදුන සිරුර ඔසවා තම පිරිස දෙසට දුවන්නට පටන් ගති..
සිහින් සිනහවක් එ් මුවගෙහි විය….
—–
තම සිරුර පඨවි ආපෝ තේජෝ වායෝ ගුණැති අංශු බවට පත් කිරීමත් නැවත් ඒවා තමන් කැමති තැනකදී තිබූ අයුරින්ම
එක් කිරීමත් රාවණයන් වැනි භාවනායෝගීන් කිහිපදෙනෙකු පමණක්ම කල හැකි ප්රානතිහාර්යයකි.
රාම යන් මෘතයු වාණය ගෙන අහසට පිනූ මොහොතේදීම රාවණයන් එතන තමන්ගේ සෙවනැලි ඡායාවක් මවා අතුරුදහන් වුණි…
නැවත රාවණයන් පෙනී සිටියේ ඔහුගේම රහස් කුටිය තුලයි. තම සෙවනැලි ඡායාවට හී සර වැදෙනුත් ඇද වැටෙනුත් දුටු
වා තලයට මුසු වූ රාවණයන් තමන් දුටු සියල්ලම අනෙකුන්ද දක්නා බැවින් මේ රාවණයන්ගේ අවසානයයැ සිතා යටත් වන්නාහ.
එබැවින් ක්‍රම සම්පාදනයට වැඩි වේලාවක් ඉතුරු වී නැති බව දන්නා රාවණ…, රාවණ පහණ දැල්වීය…
රැද්රාක්ෂ මාලය අතට ගත් ඔහු පහන ඉදිරියේ හිඳගති.
කුන්ඩලීණිය විකසිත වත්ම තමන්ගේ දසිස් නම් සිස් දහය ක් වූ ස්වාභාව දර්මයාගේ ශක්තීන් බෙදී තම සිරුර අතහැර ලෝ තලයට මිදී
ස්වාභාවධර්මයා හා එක්විය යුතු බවට අධිෂ්ඨාන කරමින්. ආනා පානා සතිය ඇරඹියේය.
——-
මේ වන විට රාවණයන් සිටිනුයේ කොහේදැයි දන්නා එකම පුද්ගලයා වන චක්ෂු යුද බිමේ සිට පැමිණ රාවණ මාලිගයට ඇතුළුව රහස් කුටියට හිස පෙවීයැ….
යාන්තම්දැල්වෙන රාවණ පමහන ඉදිරිපස බිම වැටී තිබුණු රැද්‍රාමාලයත්, වජ්‍රයත් හැද සිටි වස්ත්‍රත් පමණක් එහි විය..
රාවණ නැත… !
පෙර දින රාත්‍රියේ රාවණයන් පැවසුවාක් මෙන් ඔහු තම ශක්තීන් නවය මුද හැර ඇත..
ඒ අවසන රාවණ සිරුරද අංශු බවට පත්වී නැවතත් කවදා හෝ යලි එක් වන තුරා වා තලයේ සැරි සරන්නෝය.
එතෙක් තමාට ඇත්තේ දුන් උපදෙස් පිලපැදීමය….
වහා රැද්‍රාමාලයත්, වජ්‍රයත් අතට ගත් චක්ෂු සෙන්පති රහස් කුටියේ දොර වසා ඇගිල්ලක් සිදුරු කර
වැගිරෙන ලේ මතට රාවණ යන් දුන මන්ත්‍රය ජප කර එම දොර මුද්‍රා තබා මාලිගයෙන් පිටත් විණි….
——–
එතෙක් මෙතෙක් තවත් හෙතෙම රාවණ සිද්ධිය මතුරමින් ප්‍රතිඥා


දුන් පරිද්දෙන්ම කල්පය ගෙවා දමනා තුරු
රාවණ දස බලයන් හා එක්ව ඉපැදමෙින් එක්ව මිය යමින් මේ ලොව සැරිසරන්නෝය….

……. මේ ඒ දස දෙනාගේ කථාන්තරයයි ……. !!
---------- කුරුළු --------
.
( උපුටා ගැනීමේදී කතෘ අයිතිය සුරකින්න )
#දසිස් #රාවණ #රාවන #කුරුළු #rawana #ravana

Friday, May 6, 2016

===== සිත නිවන සිත ======= .




ලිපිය නොලියා සිටීමටත් අනේක වාරයක් සිතීමි.
එනමුත් සිතට දැනෙනා අනෙකුත් සියල්ල ලියා තබන අතර තුර මේ දැ ද නොලියා අතහැරීම අඩුපාඩුවකැයි වරෙක සිතීමි.

ලැබෙන නිවාඩුවක නින්දට පෙර භාවනාවකට හිත යොමු කිරීමත් ඒ හරහා යම් යම් දේ මෙනෙහි කිරීමත් කලකට පෙර සිටම හුරු කලෙමි.
ආස්වාස ප්‍රාස්වාසයෙන් ඇරඹි කුණ්ඩලීනියත් ඕම්කාරයෙන් ඇරඹි නාඩි පිරිසිදු කිරීමත් ක්‍රමයෙන් සිරුරේ රිද්මයට හුරුකලෙමි.
මුලදී උදරය මූලිකව හුස්ම පිරවීමත් සිත ඒ හා එක් කොට හුස්ම නාස් පුඩු හරහා පිට කිරීමත් සිදු කරමින් ක්‍රමක්‍රමයෙන් උදරෙය් සිට පපුව , ගෙල, නාසය, නළල් තලයෙහි මධ්‍ය දක්වා සුසුම සමග සිත ගෙන ආවෙමි. දැන් සිරුර නිසලය.
ආස්වාස ප්‍රාස්වාසයද මනාය, සිත ද නළලත මැද දෑසට ඉහලින් මදක් බරව දැනේ.... කලුවරකි.......
විදුලි කෙටීම්, මනෝභ්‍රාන්තික රෑ, ශබ්ද, සිතිවිලි මතක ඇදෙන්නෙ මෙවිටය, ඒ මද වේලාවකට, සියල්ල අනතුරුව නිහඩවෙයි....
සුදුය... මුදුය... නැවත නිසලය... නුඹ මනස ශක්තිය වෙත විවරවන වෙලාවය.විශ්වීය දැනුමට ඉඩ දුනහොත් සියල්ල නුඹ වෙත ගලා එනු නිසැකය......
නිර්වාණය ගැන සිතීමි..
නිවන් මගට පිලිපන්නෙකු බැදීම් අත් හල යුතුය, ලෝභ වශයෙනුත් ද්වේශ වශයෙනුත් අල්වා නොගත යුතුය.මේ හොදය ඒ නරකය යැයි නොසිය යුතුය. දුටු දෑ දුටු පමණින්ද , ඇසූ දෑ ඇසූපමණින්ද , රස බැලු දෑ රස බැලුපමණින්ද , ස්පර්ශ වූ දෑ ස්පර්ශ වූ පමණින්ද , කියවූ දෑ කියවූ පමණින්ද නතර විය යතුය. සරළවම පවසන්නේනම් ඒ ඒ පංචේන්ද්‍රියන් ගෙන් ලැබෙනා අරමුණු වලට සිත එකතු නොකල යුතුය.
ඇස කන නාසය දිව ශරීරය හරහා සිතට ලැබෙන සංඥා නැවතීම කල නොහැක්කකි, කල යුතු වන්නේ නොලැබුනා සේ පැවතීම පමනි.
අපත් රහතන් වහන්සේ කෙනකුත් වෙනස් වන්නේ එතැනනි.
අප කැමරාවක මෙමරි චිපය වැනිය.. දකිනා සියල්ලම පාහේ ගබඩා කර ගන්නෙමු. ඒ නිසාවෙන් කොයි යම් මොහාතක නැවත ක්ෂණිකව උඩට මතුවී අපට කරදර කරනු ඇත.
රහතන් වහන්සේ කෙනකු කැමරාවක කාචය බදුය සියල්ල දකිනා මුත් ග්‍රහණය කර ගැනීමක් නැත. 'සේවු' ( මතක )කර ගැනීමක් නැත.
මුලදී කීවාක් මෙන් නිව්න් මගට පිලිපන් තැනැත්තා කෙමින් කෙමින් අත් හැරීම පුරුදු කරනු ලබයි. දුටු දැ දුටු පමණින් - ඇසු දැ ඇසු පමනින් - කියවු දැ කියවු පමණින් ආදි ලෙස නවතා දමයි එනම් ඔහු වර්තමානයේ ජීවත් වන්නට පටන් ගනී. උදාහරණයක් ලෙස උදෑසන ආහාරයට ගත් දෙය ඒ ආහාරය අවසන් වන විට ඔහු මතක තබා නොගනී. ඔහුට එය තවත් එක් ආහාරයක් වනු ඇත. එලෙස එතැනින් මතක තබා ගැනීමක් නොමැති නිසා මතකයක් නැත. එනම් අතීතයක් ඔහු තුල නැත.
එදිනෙදා ජීවිතයේද සරළව ජීවත් වන පුද්ගලයෙකු අපට දැකිය හැක. ආහාර ගන්නා විට ආහාර ගනී ඉන් එහාට ඔහු තුල දෙයක් නැත, ඇවිදින විට ඇවිදියි.. සරළ වෙයි... වර්තමානයේ ජීවත් වීම යනු එයයි..
කෙමන් කෙමෙන් ඔහු භාවනා යෝගී වන්නට පටන් ගනු ඇත. මේ අවධියේදී බාගදා සමාජය තුල ජීවත් වීම ඔහුට අසීරු වනු ඇත. ඒ පෙර කී මතක තබා නොගැනීම නිසාත් සරළ දිවි පැවැත්ම නිසාත් සමාජය ඔහුට හිරිහරයක් විය හැක.
--
භාවනා යෝගී වීමෙන් ඔහුගේ පැවතුම් තවත් සංවර වනු ඇත. එදිනෙදා ජීවිතයේදී භාවනාවක නියෙලන අපට වඩාත්ම කරදරකාරීදෙයනම් අපෙග් ' මතකය'යි. අප දෑස් අඩවන්ව භාවනාකරන විට සිහියට එන්නේත් සිත එහෙ මෙහෙ ගෙනයන්නෙත් තර්ක කරනු ලබන්නෙත් අපෙග් පෙර උගත් දැනුමෙනි.
එහෙත්, මතක තබාගනීමකින් තොරව කිසිවක් හා නොඇලී සිටින්නොකුට දැනුමක් වුවද තිබිය නොහැක ඒ කියවන දකින අහන දෑ එතැනින් නතර කරන නිසාවෙනි. ( වරදවා තේරුම් නොගන්න , දැනුම එකකි - අවබෝධය වෙනනමම එකකි. 
දැනුම නොව අවබෝධය යි වැදගත්. දැනුම කොතෙක් තිබුණද අවබෝධය නොමැතිව පලක් නැත.) 
පෙරකී භාවනායොගියාගේ මනස බොහෝ සෙයින් හිස්ය ඒ මතකය - දැනුම ගබඩාවක් නැතිව ඒවා හා නොඇලී ඔහු බොහෝ කලක් ගෙවා ඇති හෙයිනි.
තර්කනය අඩු මනසක් ඉක්මනින් නිසල වනු ඇත.
--
දැන් මෙසේ ලියමි, නිවන ඇත්තේ කොහිද ?
විවිධාකාරයින් විවිධාකාරයට නුඹට පවසාවි. එය නුඹ තුලම ඇති බවටත් පවසාවි. ඇත්තය එය ඇත්තේ නුඹ තුලය. නමුත් එතැනට ලගා වන්නේ කෙසේද ? 
මා මෙසේ ලියමි ,
නුඹ කවුරු සමග හෝ කෝප වන්නේ නම් එයට යම් යම් ප්‍රමාණ ඇත. සිනහ වන්නේ නම් එයටද ප්‍රමාණ ඇත. ඒ අප සිත තුල නැගෙන හැගීම්ය. අප ඒවාට ප්‍රමාණ නියම කරගෙන පාලනයක් කරන්නෙමු. එපමණක් නොව අපට අවශ්‍ය විට අවශ්‍ය අයුරින් ඒ හැගීම පිට කිරීමටත් නවත්වාගැනීමත් සිදුකරන්නෙමු. අනෙක්කුත් හැගීමුත් එසේමය.සිතා බලන්න මනුශ්‍යන් වන අප මේ ගත කරන සෑම තත්පරයක්ම ගෙවන්නේ අපගේ සිත මත නැගෙන හැගීම් මතය. එහෙත් එයින් වෙනස් වන හැගීමක් ඇත. 
ඒ ' ආදරය 'යි.... අප යමෙකුට ආදරේයැයි පවසන්නේ යම් ප්‍රමාණයකට නොව මුලු සිතින්මය. අදටත් මනුශ්‍ය සත්වයන්ට ආදරය පාලනය කරගත නොහැක. පාලනයට යටත් කරගත හැක්කේ යම් මට්ටමකට වුවත් අප ආදරේ නම් ඒ මුළු හදවතින්මය !
මා දැන් නුඹට මෙසේ කියමි.. 
මාගේ අත්තා ජීවත්ව සිටිනා කාලයේදී කුඹරු වැඩ අවසන්ව නිවසට පැමිණ පිලේ හිද ගන්නේ ' හම්මේ .. නිවන් ගියා වගේ" යැයි පවසමිනි...
අද කාර්යාල වලත් නොසෑහෙන්න වෙහස වූ ඇතැමෙක් විරාමයක් ලද විටෙක ' නොසිතාම ' නිවන් ගියා වගේ ' යැයි පවසනු අසා ඇත්තෙමි.
ඒ ඇයි ????????? 
ඒ වෙන කිසිවක් නිසා නොව නිවන යනු අමුතු දිව්‍ය තලයක්වත් බ්‍රහ්ම තලයක්වත් නොව අප සිත තුල ඇතිවන උතුම් හැගීමක් නිසාවෙනි.
නිවන යනු ආදරයටත් එහා සිතෙහි වූ සියලුව ලෞකික සිතුවිලි වලින් එහා අල්ලා ගැනීම් වලින් වූ වෙහෙස තුරන් වූ පසු දැනෙන නිහඩ - නිසල - මහා නිස්සද්ද තාවයේ හැගීමයි.. !
------ ඒ හැගීමට පත් වීමට සියළු දැ අත් හැරිය යුතුය , සියලු බැදීම්, මතකයන් , දැනුම, අතහැර මහා නිශ්ෂබ්දතාවයට පත්විය යුතුය.අල්ලාගැනීම් අංශුමාත්‍රයක් හෝ වේනම් නිවන යන හැගීම අපට නොදැනේ. 
----- නුඹලාට මට තේරෙන බොහෝ දෙනා විදවන ආදරය සිතට ඇතුලු වීමටත් කොතරම් කල් ගත වනවාද ඒ වගේම එය ඉවත් කර ගන්නත් කොතෙක් කල් ගත වෙනවාද ? එසෙ ්වුනත් එය සම්පූර්ණයෙන් ඉවත් වෙනවාද ?
----- ඉදින් සියළු බැදීම් අත් හැර - ද්වේශයත් ලෝභයත් මුදා හැර ලබා ගන්නා නිවන නම් ඒ හැගීම තුල නැවත හැරීමක් නැත. නැත ලෞකික ජීවතයට නැවත අල්ලා ගැනීමට ඒමක් නැත. එක වරක් ඒ හැගීම සිතට ඇතුලු වූ පසු දුක කෙලවර වෙයි....... !
------විස්වාස කරන්න මට අනුව , නිවන කියන්නෙ උතුම් හැගීමක් !
දැනුම නොව අවබෝධයි වැදගත් !
( මේ ඉහත සදහන් සියල්ල මාගේ ම අදහස් වන අතර කියවන නුඹලා ඉන් නිදහස්ය )
----- කුරුළු-----
( විශේෂ ස්තුතිය Chandana Ellewala අයියාට , නිවන කියන්නෙ හැගීමක්ය කියල හිතන්න පෙළඹුවාට 

Saturday, March 12, 2016

හෙට ඉදන් උඹ වැඩට යනවද ආයේ දැං දලු දාන කාලේ....


ඒ දවස් වල වගෙ නෙවෙයි දැං
අමාරැයි කොළ හැලන කාලේ
අපිත් වයසට ගිහිං හිතෙනව
දැක්කහම රැලි වැටෙන තාලේ
.
දවස් දෙකකට වතාවක් වත්
ලොකු මහත්තය තරුණ කාලේ
අදිනවාමයි බඩේ ඉරි ඉරි
රටාවට ගස් එකක් ගානේ
.
ඉරෙන් ඉරකට තදින් දැනුණත්
පිහියෙ මුවහත කලින් වාරේ
ඉරි දිගේ බේරැණේ කදුලැලි
නෙවෙයි, සුදු කිරි දුවගෙ බාරේ
.
රබර් ගස් වගෙ හිතං ඉන්නැති
අපි ගැනත්, දුක උන්ට නෑනේ
සුදු රබර් කිරි තරම් වටිනා
කමක් කොහොමත් අපිට නැනේ
.
නිදන් නැගිටල යන්නවත් බෑ
කොන්දෙ දැං අවසාන කාලේ
මමත් ගෙදරට බර වැඩී දැං
උඹෙත් දීගෙක යන්න කාලේ
.
පොඩි පුතාලට ලියල දීලලු
දෙන්නටම අක්කරේ ගානේ
දුවේ උඹටත් එන්න කිවුවද
කිරි කපන්නට දවස ගානේ
.
හාමුලට වැඩියෙන් උඹව ගස්
අදුනනව ඉද, කෙල්ල කාලේ
හෙට ඉදන් උඹ වැඩට යනවද
ආයෙ දැං දලු දාන කාලේ....
-කුරුළු-

ඉසුරැමුණි පෙම් යුවලෙ නුඹ ගැන මම තමයි මුල් කවිය ලියුවේ !



අපිට හුරු තව ගොඩක් අය මෙහි
පෙම්වතුන් වගෙ මැරිල යන්න ඇති
අපිව ගල් වල නෙලුවේ දවසක
උන්ව සිහිපත් වෙන්න, වෙන්ඇති
.
ඉසුරැ මුණි පෙම්වතිය ලෙස නුඹ
තාම රන් මසු උයන තුල ඇති
අපිව වෙන් කල නුඹගෙ පරපුර
රජ පවුල ලෙස ගලේ නිදි ඇති
.
එන තුරා නුඹ කියපු ලෙස මට
තාම කොණකය ඉසුරැ මුණියේ
රජෙක් වුන මගෙ හිතේ තනියට
ගලක් වගෙ ' අසු " පමණි හිටියේ..
.
කමක් නැ මට දුකක් නැ තව
කවුරු කොතැනද වැරදි කෙරුවේ
දුකයි,හිත යට නගින පෙම් ගිනි
කවුරුවත් නැ තාම දුටුවේ
.
රජ පවුල, පෙම් යුවල, මිනිසා
එක්ක අස් හිස පමණි තිබුණේ
නුඹ නමින් කවි ලියා තැබු සෙල්
ලිපිය නුඹමද කැබලි කෙරුවේ.!
.
අපි වගේ පෙම් වතුන් දවසක
මෙහෙ එතියි කවුරැන්ද සිතුවේ
ඉසුරැමුණි පෙම් යුවලෙ නුඹ ගැන
මම තමයි මුල් කවිය ලියුවේ !
-කුරුළු-

== රුවන් තැල්ල බඳින තුරා - තනිකම දුක නොදීයන් ==



.
+ හෙලෝ
- හලො හලෝ තමා ගෙම්බො.. කොහෙද ගියේ උදේ ඉඳන් ආගිය අතක් නැ.. මොකො සිල් ගත්තද ?
+ අනේ නැ පන්සල පැත්ත පලාතෙ ගියේ නැ
- එහෙනං.. ?
+ අද දවසම වැඩ කලා අප්පහ්..
- ඒ හොදයි දැන්ම පුරුදු වෙන එක. නිවාඩු දවස් වලට වැඩ කරන්න.
+ ආ ඇත්තද ? නැ මං මේ දැන් ලස්සනට තියාගත්තාම එන කෙනාටත් සිද්ධ වෙනව ඒ විදියටම පවත්වාගෙන යන්න. නැති නං මම කැතට තියාගෙන හිටියොත් එන කෙනෙත් එහෙම්මම තියයි.
- අපෝ කට්ටයා. කියමු බලන්න දැන් මොනවද කරපු වැඩ
+ අද මං සරවුන්ඩඩ් සවුන්ඩ් සිස්ටම් දෙකක් හයි කලා. හප්පා එපා වුණා උඩ නැගල ඇණ ගගහ හම්මෙහ්.
- තව
+ තව ජනෙල් සේරොම වැලි කොලනේ මැදල පොලිෂ් ගෑව. ග්‍රිල් වල කලු පාට ගැව.
- තනියම ?
+ හම් ඔවු ඉතින්
- තව මොනවද ?
+ මගේ බාත්රූම් එකයි ටොයිලට් එකයි හේදුවා.පණ ගියා අප්පා ටයිල් ටික මැදලම.
- ඒ මොකෝ හදිස්සියෙම
+ නැහ් කිසිම හදිසයික් නැ මේ ඉතින් අවුරුදු ගාණකට පස්සෙ මයෙ හිතේ.
- අපෛා් ගඳයා. හොඳන්න අනේ ඒවා සතියකට පාරක්වත් නැත්තං විසබීජ
+ මෙහ් මගුලක් කතා කරනව. මම මේ අද හෝදල පණ ගිහින් ඉන්නෙ..
- ආහ් මේ එහෙම කියන්නෙපා හොඳද අපේ අම්ම පොඩි කාලෙ මට කියල තියෙන්නෙ ටොයිලට් හෝදන අය ඊලග ආත්මෙ ලස්සන වෙලා උපදිනවලු.
+ මොකක් ?
- ඔවු අනේ. දැන් ඉතින් ඔයා මට වඩා ලස්සන වෙලා උපදියි ඊලග ආත්මෙ නේද. හුහ්.
+ අනේ මේ මම කල්පනා කලේ එතකොට සුදු නංගි ගිය ආත්මේ එක ටොයිලට් එකක් වත් හෝදල නැති ව ඇති නේද කියල ?
- අනේ මේ. ඇයි මම කැතද ? යනව යන්ඩ ඌරා. මගේ මේ ලස්සනේ හැටියට මම හැමදාම හෝදන්ඩ ඇති.
+ හරි හරි කොහොම හරි අම්ම මෙයා ලවා සේරොම වැඩ අරගෙන වගේ ඒකත් හොඳයි . මොකද මෙහෙ ආවමත් වැඩ තියෙනවනේ.
- අනේ මේ යන්ඩ යන්ඩ හිතේ ඇති ලස්සන වෙයි කියල. තමන්ගෙ ටොයිලට් හේදුවට ලස්සන වේනනෙ නැ ගොන්ටො අනුන්ගෙ ටොයිලට් හෝදන්න ඕනලු. ඔය අපේ දිහා ආව වෙලාවක කැමතිනං හෝදල දෙන එකයි ඇත්තෙ.
+ ආ ඒකත් එහෙමද ? එහෙනං ඔහෙ ආවම ටූත් පේ්ස්ට් ටිකයි දත් බුරුසුවකුයි ලැස්ති කරල තියන්න
- ඒ ඇයි
+ ඔයාගෙ දත් ටික මදල දාන්න. ඒක්ත ඉතින් අර වගේනේ.
- අනේ මේ මගෙන් අහගන්න තමා ඉතින් ඔය නටන්නෙ. හ්ම හා දැන් කොහෙද යන්නෙ මේ කාර් එකේ.
+ ටවුමට යනව බඩු ටිකක් ගේන්න..සුදු නංගි මොකො කරන්නෙ
- අහ් මම මේ අර මල් මල් අයිසින් දාපු පොඩි බිස්කට් ටිකක් කනව අනේ මට බිස්කට් බඩගින්නක් ආවනෙ.
+ ආහ් දැන් කෑම ජාතිය දැනගෙනමද එන්නෙ බඩගින්න.
- මෙහ් සුදු අයියෙ ඔයා දැකල තියෙනවද අර පාරවල් අයිනෙ දාගෙන ඉන්න පළතුරු තට්ටු
+ ඔවු
- ඔහෙත් ඒවා තියෙනවද ?
+ ඔවු ඇයි
- අනේ ඔය යනගමන් බේබි නාරං ගන්නකො ප්ලීස් මම ආසයි
+ හාං.. ආහ් මෙන්න එකක් තියෙනව ඉන්න අහල බලමු ඇ
- ආ ෂෝක් ෂෝක්...
************************
+ අයියෙ නාරං තියෙනවද ?
= නැ මල්ලි ?
+ නැද්ද හා හරි යන්නං එහෙනං ?
************************
- මොනවද මැට්ටො කරන්නෙ
+ ඇයි
- ඔයා ඇහුවෙ බේබි නාරං යෑ.නාරංනෙ
+ අහ්. මම හිතුවෙ ඔයා බේබි කිවුවෙ මට කියල ?
- අනේ මේ යනව යන්න මොට්ටයා.
+ දැන් හරවන්න කම්මැලියි. පස්සෙ ගමු..
- හ්ම් හා. එහෙනං පරිස්සමින් බඩු අරන් එන්න. බුදු සරණයි
+ ආදරෙන් ඉන්න සුදු නංගි..!
====================
රුවන්වැල්ල මං යනකොට 
ගං වැල්ලේ සැලි සැලි
රුවන් සිනා රැල්ල වැනුවෙ
ඇයි කෙල්ලේ සිලි සිලි
මාවනැල්ල පසු කල විට
පායා ආ සඳමලී
හිනා රැල්ල ඇයි ඇන්දේ
දුරලා සිත සැනසිලි
පවන් රැල්ල ගෙන එනවා
ගතට සුවය සැනසිලි
නැවුම් නිල්ල පොබයනවා
රහසෙම පෙම් සිතුවිලි
නදී රැල්ල අතුරනවා
ටිකිරි පයට පියවිලි
හිනා රැල්ල නැංවෙනවා
හඳපානේ දිලි දිලි
මං එතකොට තනිවෙනවා
හදත් සමග කෙඳිරිලි
රුවන්වැල්ල මං යනකොට.....
රුවන්වැල්ලෙ රුවන් සිනා
මා වටකොට වෙලීයන්
පවන් රැල්ල සිහිලස දී
සුවඳ මුසුව ඇදීයන්
සිනා රැල්ල සදාකල්ම
මා වටකොට සරාපන්
රුවන් තැල්ල බඳින තුරා
තනිකම දුක නොදීයන්
රුවන් කෙල්ල ලැබෙන තුරා
ගංගාවේ ගලාපන්
රුවන්වැල්ල මං යනකොට...
=========== ගායනය - සේනානායක වේරලියද්ද
--කුරුළු---

ගීතය -