Tuesday, July 9, 2013

==ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ - === ==උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ ===




අයියා නම් පුදුමය...
මා මෙතරම් එපා කියද්දීත් මේ මාසයේ මාගේ වියදම් මුදලත් එවා ඇත..
අයියා ගමේ මේසන් වැඩ කර හම්මබ කර ගන්නා මුදල්ය..
අප්පච්චි නැති වුන දවසේ ඉදන් මාගේත් අම්මාගේත් දෙවැනි අප්පච්චි වුයේ අයියා ය..
ලේඛනාරක්ෂක දෙපාර්ථමේන්තුවත් යාපහු හඩැති සිංහයෙකුගේ මුහුණකුත් පෙනෙන පරිදි එස් එස් සී ක්‍රීඩාපිටියට මුහුන ලා නිදහස් චතුරස්‍රය ඉදිරිපිට හිඳගතිමි..
බොහෝ දෙනා මෙයට නිදහස් චතුරස්‍රය යැයි පවසන්නේ කුමන අරමුනකින්දැයි මා නොදනිමි.. කොළඹ විශ්ව විද්‍යාල ජීවිතයට ඇතුලත් වූ දා සිට මාගේ සියලු දුක් දෝමනස්සයන් වල නිදහසේ චතුරස්‍රය වූයේ නම් මෙය ය. එනිසා මම ම මෙය නිදහස් චතුරස්‍රය ලෙස හඳුනවමි..
අයියා ලියමනක් එවා ඇත.. බෝඩිමේ අනිකුන් සමග එය කියවිය නොහැක .. ඒ දුප්පත්කම උන් දැනගන්නා නිසාවෙන් නොව එය කියවන විට චපල වන මගේ ඇස් දෙක මට ම පාලනය නැති නිසාවෙනි..
අප්පච්චි නැති වුනු පසු අම්මා බොහෝ මහන්සියෙන් හදාගත් අපි  අයියා ලොකු වෙනකම් මහා අඩුපාඩු කම මැද ජීවත් වුනෙමු..
මුලදී අම්මාගෙන් ගුටි කමින් පවා මේසන් වැඩට අත් උදවු දීමට ගිය අයියා දැන් ලොකු බාස්උන්නැහෙකි...
කල් යත්ම අම්මාද අයියාට බනිනා එක නැවැත්තුවේ.. එක්කෝ අයියා කියන දෙයක් නාහන නිසාය.. නැතිනම් අම්මාගේ හිස මත තිබු බර මදක් හෝ අයියා නිසා සැහැල්ලු වූ නිසා දැයි මා අදටත් නොදනිමි - නොඅසමි...
කෙසේ වෙතත් අදටත් අපේ ගමේ ගෙදර උකස් තබා ඇත..
අනුන්ට මාලිගා හදන අයියාත් අම්මාත් ජීවත් වනේනෙ පොල් අතු පැලකය..
අප්පච්චිගේ එකම හීනය වුනේ අයියාවත් මාවත් හොද ලොකු මහත්තරු කරන්නටය..
අයියා නම් කියන්නේ අප්පච්චි ගහෙන් වැටුන වෙලේ අන්තිමට අයියාට අම්මාවයි මාවයි බාර කල බවකි...
මා විශ්ව විද්‍යාලය තෙක් ගෙනාවේ අයියාය..
එදා සිට අද වන තුරු සියලු විය හියදම් දැරුවේ ඔහුය..
කිසිදු වෙනසක් නොකර මෙවරද මා හට වියදම් මුදල් හා කමීසයක් කලිසමක් ගැනීමට වැඩිපුර මුදල්ද එවා ඇත...
විශ්ව විද්‍යාල ජීවිතය කොතරම් කටුකද ! අධ්‍යාපන ක්‍රමයේ ඇති අවුල් වියවුල් බව අයියා දන්නේ නැත..
වෙලාවකට මට දුක සිතේ...
අයියා එවන මුදල් ඉතිරි කරමි... දවල් බත් වුවද කන්නේ බෝඩිමේ අනික් උන්ගෙනි..
අදින්නේ පරණ ඇදුම ම ය...
විශ්ව විද්‍යාලයට එන කෙල්ලන් හඩ්ඩෙකු ලෙස මට කාඩ් ගසා ඇත.. ඒත් මා දන්නා තරමින් මා සෝදා පිරිසිදු කර අදිනවා පමණි..
මා සතුව ඇති සීමිත ඇදුම් ප්‍රමාණය මුලු විශ්ව විද්‍යාලයම දනිති..
ඒ ගැන කිසිත් නොසිතිය යුතුය..
කල යුත්තේ ඉගෙන ගැනීමය.. අයියාවත් අම්මාවත් බලා ගැනීමේ වගකීම මා සතුය..
අයියාට මංගල යෝජනා කිහිපයක් පැමිණියත් විවාහ වන වයස පසු වී තිබෙද්දීත් අයියා
ආදරය කල පොඩි මාමාගේ අක්කාත් අමතක කර දමා ඇත..
වචන වලින් නොකිවූවත් ඒ මා නිසාය “..
අයියා විවාහ වූ පසු මා හට මෙසේ ඇප උපස්ථාන කල නොහැකි යැයි සිතේ ඇති..
මට මා ගැනම තරහක් උපදී...
ඈත දුර ගමක සිට මේ නොදන්නා කොළඹ රිංගං අහවල් කෙන්ගෙඩියක් කරන්නද..
උපාධි ඇති උන්ටත් රස්සා නැත... කියන්නට කෙනෙක් නැත..
පෙළපාලි උද්ගෝෂණ වර්ජන අඩුවක් නැත..
එකම විකාරයකි...
එක අතකට අයියා වගේ ගමේ වැඩකට ගියානම් ඒකත් එහෙමය..
අනෙක් අතට මේ ටිකත් ඇදල උපාධිය ගොඩ දා ගත යුතුය...
අයියාගේ ලියමන දෙකට නවා ගුලිකර සාක්කුවට දමා ගතිමි.
සාක්කුවේ යමක් තිබුනෙන් එය එලියට ගතිමි..
හ්ම්......
එය සත්‍යාගෙන් ලැබුනකි.මිතුරෙකුගේ විවාහ උත්සවයකට ගොස් තමන්ට ලැබුන වෙඩින් කේක් කෑල්ලයි... අද දවාලේ ගෙන විත් දුන්නේ ඇයය..
ඉතා ලොකු පවුලකින් පැවත එන්නියකි.. මා ගැන උනන්දුවක් ඇති බවක් සිතෙයි.. මටද ! මම කැම්පස් එකේ ලියන කවි වලටද නොදන්නෙමි.. කෙසේ වෙතත් ආදරයකට නම් තවම සූදානම් නැත...
මට වටින්නේ අයියාය.........
කවදා හෝ මේ කර ගන්නා පවු සොදා හලයුතුය අයියාට සැලකිය යුතුය...
- හවස් වත්ම එකින් එකා නිදහස් චතුරස්‍රය පැත්තට පැමිනේන පටන් ගනිති.. ඒ හුදෙක් දිවිමටය.. ලොකු වාහන වලින් පැමිනෙන ඔවුහු නිදහස් චතුරස්‍රය වටා වට කිහිපයක් දුවති...
--මහ පුදුම ලෝකයකි... අපි මෙහේ බඩ පුරවාගන්න වෙහෙසෙන්නෙමු - ඔවුහු බඩ අඩු කර ගැනීමට වෙහෙසෙති...---
ඉර හැරුනු පසු එතැන පින්තූර ගැනීමට ආ මනාල යුවලකට ඉඩ දී නැවත බෝඩිම කරා යාමට මම නැගිට්ටෙමි.......
*******
ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ
උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ
මන්දිර වාහල් හැදුවත් උඹ ඉහට ඉහල පන්තියේ
අපි උපන් ගෙදර තවමත් අතු පැලමයි අයියන්ඩියේ

ලඹ කැටේ අරන් මං ගියාට දවස ගානෙ ගං ගොඩේ
මලේ තවම එදා වගේම ඇදයි අපේ ජීවිතේ
මට එවන එවන හැම සතේම ඉතිරු වෙලා මයෙ හිතේ
අතේ තියෙන කරගැට වල පවු අරින්න අයියගේ

මගෙ හිත ගිය තැන හදා ගන්න බැරි වුනාට මාලිගේ
හිතට දුකක් නෑ උඹ ඉගෙන ගනින් මල්ලියේ
අප හෙලු කදුලු එකතු වෙලා නොපිරුනාට සාගරේ
වැවක් වෙලා ගිම් නිවාවි කවදා හරි මේ බිමේ.... (කපුගේ - දිවුල්ගනේ)
********
--කුරුළු--

Monday, July 1, 2013

== මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්== ==හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ !==


.

දවසක් ම ඔයාට හොරෙන් ඔයාගෙ නම මගේ අතේ ටැටූ කරන් ඇවිත් ඔයාට පෙන්නුව.....

මතකද නංගි...

ෂා...

මගේ හොද අයිය මං ආදරෙයි....
ඒත් කරපු වැඬේ නරකයි මං එපා කියපු එකක් ඒත් කමක් නෑ මගේ නමනේ එතකොට අයියට හැමදාම ඔයාට මාව මතක තියෙයි .....
වෙන කෙල්ලො ලගට යන්නත් බෑනේ
හූ......හූ.....

‘ ඔයා මගේ ඒ අත අරන් තුරුළු කරගත්ත’

හහ් ...... විකාර......

මතකද ..... අන්තිම දවසෙ
ඔයා මට බැනල මගෙ ඈත් වෙලා යනකොට කිවුව වචන ටික....

ඔයා මගේ අත අල්ලගෙන ...

‘දැන් ඉතින් මේ ටැටූ එකෙන්
වැඩක් නෑනෙ අයිය
ඒක මකා ගන්න.... නිකං පිස්සු නටන්නෙ නැතුව’...

මොන හිතකින්ද නංගි
ඔයා එහම වෙනස් වෙන්නෙ....
වචන අනෙක් පැත්ත පෙරලන්නෙ.....

අතේ ටැටූ එකනම් මැකුව මගේ නංගි....

ඒත් හිතේ තියෙන එක මකන්න ඔයාම විදිහක් කියන්න !

මම බලන් ඉන්නවා.....

.....හැමදාටම....
මේ අයිය -

.... " ඔ යා ට, ම යි

ඒ වගේම නංගි.....

ඔ යා, ම ට යි....."

---- ආදරෙයි මං සත්තයි---

අතේ ටැටු කරන එක පිස්සුවක් වුනත් මම එයා වෙනුවෙන් එහෙම කලා නංගි.. ඒ බොළඳ කමට නෙවේ ආදරේ වැඩි කමට . ඒ දවස් වල මට ඔයාට දෙන්න දෙයක් නෑ මොකද උපන් දිනේට මට ඔයාට තෑග්ගක් අරන් දෙන්න තරම් මම පොහොසත් නෑ ඒ දවස් වල.. හරකෙක්ගෙ වුනත් හංවඩු ගහනව අයිතකාරයාගේ නමින්.
 ඒ වෙන මොහොකටවත් නෙවේ .. වෙන අය හරි හරක් හොරු හරි ඇවිල්ල ඒ හරකව අයිති කර ගෙන අරං යයි කියල ... ඒ නිසා මගේ අයිති කාරයාගේ නම - ඔයාගෙ නම මගේ අතේ ටැටූ කර ගත්තා... ඒ මාව වෙන කෙනෙක්ට අයිති නොවෙන්නම.... !!
-- අතේ කොටල තියෙන දේවල් වලට වඩා ඉක්මණට හිතේ තියෙන දේවල් වෙනස් වෙලා අමතක වෙනව “ ගොනෝ“ තොට ඒක තේරුනේ නැද්ද....!
මේ ලගදි දවසක විකිය කියනකොට මටත් ඒක ඇත්තම නේද කියල හිතුන...
--------------
********************************
මේ සඳ වුණත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලගමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන්න සිසිල දුන්නා වුනත්
පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ !
මේ ගෙවෙන්නෙ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ.....

ආයෙ හිරු නෑ හෙට හුලගක් නෑ නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක් කදුලුත් නෑ රැය ආවත් මම නෑ
මේ ගෙවෙන්නෙ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ.....

------------කුරුළු-----------------------

===මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ=== ===මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ.....===


.
--මේ කවි ලිය ලිය හිටියට බඩ පිරෙන්නෙ නෑ ගිහින් කාල එන්න අයියෙ...
නිකමට හෝ නුඹ මේ මූනු පොතට පැමිනි වේලාවක මාගේ බිත්තිය පුරා එල්ලා තිබෙන කවිදැක එසේ පවසන්නීය.. ඒ ඉස්සරය..
== හරි හරි කවි ලියන එකෙන් බඩ පිරෙන්නෙ නැති වුනාට හිත පිරෙනවනේ
-- ඔවු ඔවු හිත පිරෙනව කෙල්ලොන්ගෙ නම්.. යන්න යන්න දැන් කාල එන්න..
== මම කාල ඉන්නෙ..
-- මේ බොරු එපා හොදේ.. මෙයා නැගිටින්නෙත් 10 පහුවෙලා ...
== හරි හරි අනේ ඔයා දැන් ඇයි මේකට ආවෙ..
-- ආවෙ.. ! ආ ඇයි දැන් මට එන්න නරකයිද ? අනික් ඔක්කොටම හොදයි මට තමා එන්න නරක..
==අපෝ හරි හරි.. ආවනම් ඉන්නව ඉතින්...
-- මේ එක නෙවේ අයිය..
== එහෙනම් කෝකද.. ?
-- ඇයි එයා මට ආදරේ නැත්තෙ ?
== අපෝ ආයෙ පටන් ගත්තද ! කවුද දැන් කිවුවෙ ආදරේ නෑ කියල
-- නෑ අයිය මට හිතෙනව ඔයා මට වඩා මේ ෆේස් බුක් එකට මේ ෆේස් බුක් යාලුවොන්ට විසේසෙන් ඒකෙ කෙල්ලොන්ට ආදරෙයි කියල...
== මොන බම්බුවක්ද මේ.. මේ නංගි මම එයාට කියල තියෙනව හොදද මනස් ගාත කතා කරන්න එප ාකියල..
-- නපුරා.. මහම මහ නපුරුයි පොඩ්ඩ ඇත්තං මට බනිනව.. අඇයි මට ඒ වගේ දෙයක් වත් අහන්න බැරිද  ඔයානේ..?
== අපෝ හරි හරි අහන්න කො...
-- ඉතින් කියන්න ඇයි ඔයා මෙ ෆේස්බුක් කෙල්ලන්ට තරම් වත් මට ආදරේ නැත්තෙ..
== අයියෝ දරුවො ඇයි එහෙම කිය්නනෙ... ඇයි ඒ අයවයි ඔයාවයි සම කරන්නෙ.. ඒ අය මගේ යාලුවො ඔයා මගේ ආදරෙ.. එතැනම වෙනසක් තියෙනවනෙ....
- එහෙනම් ඇයි අර එක එක්කෙනා කමෙන්ට් කරන් බැන ගන්නෙ..
==කවුද ?
-- අර දිනිති දීපිකා අමාලි මැණික් කුමාරි මාපා දෙන්න
== හක හක හක  හක  අයියෝ පිස්සුනෙ ඒ මගේ හොදම යාලුවො දෙන්නෙක්නෙ....
-- ඕනනම් අහල බලන්න ඒ දෙන්නගෙන්...
== නෑ මට ඕන නෑ මට ඔයාව විස්වාසයි... අයියෙ.....
**********************************************
පුථම ප්‍රෙමය කොයි තරම් නම් සුන්දරදැයි මට විටෙක සිතේ... හැම විටම තේරුම් බේරුම් කර ගැනීම්ය..
දෙදෙනාගේම ප්‍රථම ආදරය විය යුතු නැත.. එකෙකුගේ වුනාම ඇතිය..
එහෙත් දෙදෙනාගේම වුවාම ඉතිමත් සුන්දරය..
මා සිතනා ආකාරයට ප්‍රථම ප්‍රේමය ජීවිතය පුරා අමතක නොවන්නකි..
බාගදා අපට ප්‍රථම ප්‍රේමයේ බිඳ වැටීම් බොහෙමයක් දකින්නට ලැබුනත්..
ප්‍රථමප්‍රේමයට වරමක් නැති වුනත් එය සුන්දරය...
ජීවතයෙ කොයි හෝ මොහොතක වුවද සිහියට නගා සතුටු විය හැකයි..
ජීවිතයේ සහකරු හෝ සහකාරිය වෙනකෙකු බවට පත් වුනත් ඇය හෝ ඔහු සමග පවා
පවසා සතුටු විය හැකි ආදරයක් ලෙස මම එය දකිමි..
එසේ මා පවසද්දි “ ඒ අස්න්නෙ මාගේ ප්‍රථම ප්‍රේමය වන නුඹම වූවා නම් “ කොතරම් සතුටක් දැයි මට දැන් සිතේ....
නුඹ මාගේත් - මම නුඹගේත් - ප්‍රථම ප්‍රේමය නිසාවෙන් මෙසේ හදවද කීරි ගැහෙන හැගීම් නිතර පහල වන බව දැන ගත්තේ මෑතකදීය..
කිසි දිනක නුඹ ඒවා නොබැලුවත්.. ඒවා මෙසේ මාගේ බිතු මත එල්ලා තබමි...
බොහෝ දෙනෙක් මාගේ නිර්මාණ පොතක් ලෙස ප්‍රකාශනයට පත් කරන ලෙස ඇවටිලි කලද මා එසේ නොකරන්නේ බියක් ඇති නිසාවෙනි..
ඒ එඒ අවස්ථාවල මා “ ඒ තරම් මට සල්ලි නෑ “ යැයි පවසා නිහඩ වෙමි..
නමුත් ඇත්තම කාරණය නම්...
“ මා පොතක් ලියූ පසු - එය පිළි ගැන්වීමට මා අදහස් කරන්නෙ නුඹටය ! ඒ මා කුරුළු වුනේත් මේ සියලු දෑ ලියවෙන්නේත් නුඹ නමට බැවිනි..!
මට ඇති බිය - වන්නේ නුඹ “ එදිනටවත් පොත පිලි ගැනීමට නොඒ යැයි යන්නය ...!!!
*************************************************
මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ.....

ඇයිත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩ මානය
පාර කියන්නෙ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ.....
--කුරුළු---

Saturday, June 29, 2013

== හීනයක් වගේ ඔබ ආවා - හීනයක් දිගේ ඔබ ආවා== ==ආදරෙන් මගේ හිස අත ගෑවා - හීනයක්ද මේ හිත කීවා==


.
මාගේ දකුණු උරහිස අද වෙනදාටත් වඩා රිදුම් දෙයි..
ඉදිකටු වලින් අනින්නාක් මෙනි.. රිදෙන්නේ ඇට මිදුලුත් රිදවමිනි...
එසේ නිදා හිදිමට බැරිම වූ තැන අනික් ඇලයට හැරුනෙමි..
ඒද එසේමය...
ශිතකරණයෙන් අයිස් කැට ටිකක් හෝ තබා ගැනීමට සිතුවෙමි..
එහෙත් අම්මා - අප්පච්චි ඇහැරේවියැයි බියේන් එය නොකලෙමි..
තව තවත් ඇදුම් කයි... මම මගේ වමතින් දකුණ උරහිස අතගෑවෙමි..
බැරිම තැන කොට්ටය ඇ‍‍දේ විට්ටමට හේත්තු කර කෙලින් අතට දිගා වීමි...
නින්දක් නැත.. මේ ටිකේම නින්ද ගියේ බාගෙටය..
යාන්තම් නින්ද යාගෙන එන විට පෙනේන්නේ නුඹ රුවයි..
කෙසේ හෝ අමතක කරමියි සිතුවද එය පලක් නැත..
නුඹ කොහේ සිට ‍හෝ පැමිණ මා හා ජීවත් වන්නීය..
සැබැලෝකයේදී නුඹගෙන් නොදකින ලෙංගතු කමක් ආදරයක්
සිහින ලොව තුලදී විඳින්නෙමි..
"රඟපෑම් ඉවරයි " නාටකයේ පලමු චරිතයේ නිළිය " අපි හැමෝම සිහින " යනුවෙන්
පවසන්නේද මෙය විය හැක..
සිහින වලින් තොරව ජීවත් විය නොහැකතත සිහින විලින් තොරව නින්දක්ද නැත..
එහෙත් !
සැබෑවට නොලැබෙන දේම වන නුඹ ! සිහිනයෙන් දැකීම තරම් මා සිත
කලබල කරන වෙනත් දෙයක් නම් නැත...
කොට්ටය මත පිට හේතුත කරගෙන ‍නිසෝලමන්ව සිටියෙමි...
අන්ධරය ය ! දසත පැතිරෙන අන්ධකාරය ය..
මම මොබයිලයේ ස්ව්චය මිරිකා බැලීමි.. කාමරය එලිය විනි..
මටම හිනාය...
මෙහි එලිය මදි යැයි සිතිවිල්ලක් උපන්නෙ හවසය.. ඒ එලියම දැන් කාමරය ඕනෑවටත් වඩා එලිය කරන්නේය..
කෝකෙත් හැටි එහෙමය... අවස්ථාව අනුව වැදගත්කම මතුවේ.. කලයුත්තේ හරියටම හරියන අවස්ථාව තෝරා ගෑනීමයි..
දෙයක් තවෙකක් හා සැඳදීම දුකකි.. ඒ ඒ දෙකේ තත්වයන් වෙනස් නිසාවෙනි..
දෙකක් කිසි විටෙකත් එකක් විය නොහැක...
නැවතතු නුඹව මතක් විය..
- අයියා එකයි එකයි එකට එකතු වුනාම කීයද !
= එකයි (ඇය බලාපොරොත්තු වන පිලිතුර දන්නා මම එසේ කියමි)
- හෑ එකයි එකයි එකතු වුනාම තුනයිනෙ..
= නෑ එකයි එකයි එකට එකතු වුනාම එකයි....
- නෑ එක්කො දෙකයි නැත්තං තුනයි එක වෙන්නම බෑ...
=දන්න ඉටිගෙඩිය... දැන් බලන්න වතුර බිංදු අරන්.. වතුර බිංදු එකකට තව වතුර බිදුවක් එකතු වුනාම අයෙමත් එකයි..ඒකටත් තව වතුර බිංදුවක් එකතු වුනාම ආයෙත් එකයි.. ඒ නිසා මම හිත්නනෙ එකයි එකයි එකට එකතු වුනාම එකයි..
- අපෝ පන්ඩිතයිනෙ.. මම කිවුවෙ ඉලක්කම්
=කෝ ඔයා එහෙම කිවුවෙ නෑනෙ.....
සැබැවින්ම සුන්දරය... මා නව මානයන් සදහා සිතීමට පෙළඹුවේ ඇයය..
ඇයි දැන් මා ලග නැතත් ආදරයක් ඉපැදිනි.. ත‍රයේ වැළද නළලත සිප ගැනීමේ ආශාවක් ඇතිවිණි...
ඔහ්.. නවතත් සුපුරුදු රිදුම.. දකුණ අත ගලවා දැමීමට සිතෙයි.. මෙසේ වීට
හේතුව කල්පනා කලෙමි...
එසැවීමට බැරි බරක් එසවුනේද නැත - අතකින් එල්ලී වැටුනේද නැත..
හරිය...
මේ එදා පෙරදී නුඹ හේත්තු වී සිට උරහිසයි..
අද නුඹ නැති විට එය මට මහා බරක් සේ දැනේ....
නුඹ දැන් වෙනත් උරහිසකට බරවී ඇත්දැයි නොදනිමි..
එහෙත් මම නුඹට ආදරයෙන් කියමි..
තවමත් මාගේ උරහිස රිදුම්දෙයි.. හරියටම නුඹ සිටි පැත්තය.. නුඹ සිටි තැනමය....
-----------------
== හීනයක් වගේ ඔබ ආවා - හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා - හීනයක්ද මේ හිත කීවා
.
ඔබ ඉගිල ගියා අහස් යහනට වලාකුලකින් නම අසාගෙන එන්න
ඔබ කිමිද ගියා සයුරු රල මත සයුරු රලකින් නම අසාගෙන එන්න
හිත නතර වුනා ගීතයක් ලග නම නොදන්නා හීනයට ඉඩ දෙන්න
.

නම නොදන්නා මලක් පිපිලා හිතේ වන වදුලේ
නම නොදන්නා මලක් පිපිලා නෙතේ ගං වතුරේ
නම නොදන්නා මලක් පිපිලා වතේ ගන අදුරේ
නුඹ ඇවිත්දො මගේ නම ඇසුනේ....
.
හීනයක් වගේ ඔබ ආවා - හීනයක් දිගේ ඔබ ආවා
ආදරෙන් මගේ හිස අත ගෑවා - හීනයක්ද මේ හිත කීවා=====
.
--කුරුළු--

Thursday, June 27, 2013

ජීවිතේ සුන්දරද මෙතරම් !!



සිද්ධිය වුනේ මටයි අප්පච්චීටයි ය.... වෙසක් කිට්ටු දවසකය..
අපි දෙදෙනා ගෙදර ඉදිරි පස ගේට්ටුව ලග පස් ටික මට්ටම් කරමින් සිටියෙමු...
එක්වරම අප්පච්චි..
" ඒ අර බලනව අර පොඩි උන් දෙන්න ..
-කෝ අම්මා... උන් දෙන්න මොනවද ඒ අර අරන් එන්නෙ... උන බට නේද..
( අපෙ පාර ඈතින් පෙනෙන නොපෙනෙන මානයේ කොලු පැටවු ඡායාවන් දෙකකි.. උණ් බැරි බැරි ගාතෙන් උන බට මිටි බිම දිගෙ ඇදන් එති )
= ඔවු උණ බට නේනනම්.. අප්පෝ මොකටද අප්ප මෙච්චර ගොඩක්....
- මුන්ට පිස්සු මේ මහ දවල් .. දෙන්නම කොට කලිසම විතරයි.. පවු අප්පච්චි උන් පිච්චෙනව ඇති...
== හහ හහ් හහ් එහෙම තමයි පුතේ ඔය වයසට ඔය ඉතින් වෙසක් කූඩු හදන්නනෙ.. දෙන්නත් එක්ක.. පුංචි කාලෙ හරි සුන්දරයි.. මතකනෙ ඔයත් ඉස්සර.. දැන්නෙ මේ වෙලාවක් නැත්තෙ..
- වෙසක් කූඩු හදන්න මෙච්චර ගොඩක් ?? අනෙ ්මන්ද මුන් කූඩු කීයක් හදන්නද කියල...
= අපො හදයි.. බලන්නකො අර කලිසමත් උස්ස උස්ස ඇදන් එන හැටි ඇද ඇද පවු නේ...
- බලන්නකො අර කඩේ ලග ඉදන් ලයිට් කනුව ගාවට එනකොට උන් දෙපාරක් නතර වුනා .. අන්න අන්න එකෙක් බනිනව අනිකට මරු ඈ...
= හොදයි අපි මෙතනින් යනකොට අහල බලමු...
( උන බට ඇදගෙන අප සිටි ස්ථානට උන්ට ලගා වෙන්නට විනාඩි පහක් පමණ කාලයක් ගත වුනේ දුර වැඩි කම නිසා නොව ඒ බට ටික උන්ට ගෙන යාමට පුලුවන් බරක් නොවීම නිසයි... උන් පස් පාරකට වඩා බිම තැබූහ.. එසේ උන් අප ලගටම එනකම් වෙසක් වල අසිරියත් බට වලින් කූඩු තනන ආකාරයත් අටපට්ටම දහඅටපට්ටම උල්පට්ටම ගැන කතා කර කර සිටියෙන් උන්ගෙන් විස්තර අහන්නටත් අමතක විනි... උන් අප ලගටම පැමිණියහ... )
එකෙක් එක්වරම...
" මාමෙ උන බටයක් ගන්නකො වෙසක් කූඩු හදන්න ඒකක රුපියල් 30කට දෙන්නම්... "
මට ඉබේම අප්පච්චිගේ මුහුණ දිහා බැලුණි...
මුහුණ අදුරු වෙන හැටි මට පැහැදිලිව පෙනුනි..
පොඩි එකාගෙ ඔලුව අත ගෑ අප්ච්චි ගෙට ගියේ සල්ලි ගෙන ඒමටය..
මම තාප්පෙට හේත්තු වී.. අහස දිහා බලා ගත්තේ... ඇහැට වැටුනු රොඩ්ඩ නිසා පිටවන කඳුලු කම්මුල දිගේ රෑටා වැටෙන එක නැවැත් වීමටය.........................................
--කුරුළු--